Latestදේශීය

පළමු මෙට්‍රෝ බස් ඩිපෝව තලංගමදී ඇරඹේ

මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කරමින් ජනතාවට ගුණාත්මක හා ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක මෙට්‍රෝ බස් සේවාවේ මෙහෙයුම්, නඩත්තු හා පහසුකම් සැපයීම විධිමත් කිරීම සඳහා ඉදිකළ පළමු ඩිපෝ අංගනය අද (04) බත්තරමුල්ල, තලංගම ප්‍රදේශයේදී සේවා ආරම්භ කළේය.

නව ඩිපෝ මධ්‍යස්ථානයේ සේවා නිල වශයෙන් ආරම්භ කිරීම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇති මෙට්‍රෝ බස් සේවාවේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු විධිමත් කිරීම සඳහා පළමු අදියර යටතේ නව බස් ඩිපෝ හතරක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව තලංගම ඩිපෝව අද සේවා ආරම්භ කළ අතර, ඒකල, කඩවත සහ රත්මලාන කේන්ද්‍ර කරගත් සෙසු ඩිපෝ මධ්‍යස්ථාන ද මේ මාසය තුළ සේවා ආරම්භ කිරීමට නියමිතය.

මේ වන විට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සම්බන්ධ කරමින් බස් රථ 10ක් මඟින් මාර්ග දෙකක මෙට්‍රෝ බස් මගී ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කෙරේ. එම මාර්ග දෙකට අමතරව තවත් නව මෙට්‍රෝ බස් මාර්ග පහක් හඳුන්වාදී ඇති අතර, ඒ අනුව මේ මාසයේ සිට මාර්ග හතක මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක කිරීමට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම කටයුතු කරමින් සිටී.

ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 800ක සහ 2027 වසරේදී රුපියල් මිලියන 267.5ක හිමිකම් ප්‍රාග්ධනයක් වෙන් කර තිබේ.

එම ප්‍රතිපාදන යොදා ගනිමින් මෙහෙයුම් කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ඩිපෝ අංගනවලට අමතරව අංගසම්පූර්ණ මධ්‍යම වැඩපොළක් ඒකල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමටද නියමිතය.

එමෙන්ම මෙට්‍රෝ බස් සේවාව සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය හා යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් මේ මාසයේදී තවත් බස් රථ 112ක් සේවයට එක් කිරීමට සැලසුම් කර තිබේ.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා, කඩුවෙල මහ නගර සභාවේ සභාපති රංජන් ජයලාල් මහතා, ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් සහ සේවක පිරිස් එක්ව සිටියහ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අවන්ති සේනාරත්න මහත්මිය, ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නයෝමී ජයවර්ධන මහත්මිය, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව නන්දන කනකරත්න මහතා, එහි ප්‍රධාන විධායක නිලධාරී එම්.ඒ.එන්. දම්මික රත්න මහතා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා, කොමසාරිස් තාරක දේවප්‍රිය මහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

එමෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම්) අලෝකා කරුණාරත්න මහත්මිය, අධ්‍යක්ෂ (ධාවන) ශෙරීන් අතුකෝරල මහත්මිය, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ සභාපති යූ.පී. තිලකරත්න මහතා, ප්‍රධාන විධායක නිලධාරී බී.එම්. පියතිලක මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන් මහතා සහ NIO Engineering ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *