නලින්ද ටිමෝර්-ලෙස්ටේ යයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය (Seventy-ninth Session of the WHO Regional Committee for South-East Asia – RC79) හෙට (07) සිට සැප්තැම්බර් 10 දක්වා ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී පැවැත්වීමට නියමිතය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සැසිවාරයට දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.
මෙම සැසිවාරයට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අද (06) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) වෛද්‍ය එස්. ශ්‍රීධරන්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්. එම්. ආර්නෝල්ඩ්, ජාන විද්‍යාව හා ජෛව වෛද්‍ය තොරතුරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වජිර එච්. ඩබ්ලිව්. දිසානායක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) වෛද්‍ය ජානකි විදානපතිරණ මහත්ම මහත්මීහු ද නියෝජිත කණ්ඩායමට ඇතුළත් වෙති.
ශ්‍රී ලංකාවට මෙවර සැසිවාරය විශේෂ වැදගත්කමක් උසුලන අතර, 2025 වසරේ කොළඹදී පැවති 78 වන කලාපීය කමිටු සැසිවාරයේදී සභාපති ධුරයට පත් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නව සභාපතිවරයා තෝරා පත් කර ගන්නා තෙක් එම ධුරයේ කටයුතු කිරීමට නියමිතය.
ඒ අනුව, 79 වන සැසිවාරයේදී නව කාර්ය මණ්ඩල නිලධාරීන් තෝරා පත් කර ගැනීම ඇතුළු පාලන කටයුතු ද සිදු කිරීමට නියමිතය.
මෙවර සැසිවාරයේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ විශේෂිත සෞඛ්‍ය සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සඳහා සෞඛ්‍ය මානව සම්පත් ශක්තිමත් කිරීම කෙරෙහිය.
ඒ අනුව, දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සහ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර, විශේෂිත සෞඛ්‍ය සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම, සෞඛ්‍ය මානව සම්පත් සංවර්ධනය, විශ්වීය සෞඛ්‍ය ආවරණය (UHC) ශක්තිමත් කිරීම, සෞඛ්‍ය පද්ධති ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධිය භාවිතය, සෞඛ්‍ය ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම, බහු රෝග තුරන් කිරීම සහ ක්ෂය රෝගය තුරන් කිරීම ඇතුළු කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරේ.
විශේෂිත සෞඛ්‍ය සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සම්බන්ධයෙන් ඩිලි ප්‍රකාශනය (Dili Declaration) සම්මත කර ගැනීම සඳහා ද මෙවර සැසිවාරයේදී අවධානය යොමු කිරීමට නියමිතය.
කලාපයේ රටවල සෞඛ්‍ය පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ අත්දැකීම් හා යෝජනා ඉදිරිපත් කිරීමට ද නියමිතය.
මේ අතර, 79 වන සැසිවාරයට සමගාමීව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රටවල් කිහිපයක සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
ඒ අනුව, සැප්තැම්බර් 07 වැනිදා මාලදිවයින් සෞඛ්‍ය, පවුල් හා සුබසාධන අමාත්‍ය ගීලා අලි, ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා සහ බංග්ලාදේශ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය සර්දාර් එම්. සක්හාවත් හුසේන් යන මහත්ම මහත්මීන් සමඟ ද, සැප්තැම්බර් 08 වැනිදා භූතාන සෞඛ්‍ය අමාත්‍ය ලියොන්පෝ ටැන්ඩින් වංචුක් සහ කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍ය කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය හනාන් මොහමඩ් අල් කුවාරි ඇතුළු නියෝජිතයන් සමඟ ද ද්විපාර්ශ්වික හමුවීම් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මීට අමතරව, ඉන්දුනීසියානු සෞඛ්‍ය අමාත්‍ය බුඩි ජී. සඩිකින් සහ ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ බෙල්ජියම් තානාපති ලෙස පත්කර ඇති ඩේවිඩ් ජෝර්ඩන්ස් යන මහත්වරුන් සමඟ ද හමුවීම් පැවැත්වීමට නියමිතය.
එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් ද සැසිවාරයට සමගාමීව පැවැත්වීමට නියමිතය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපයට අයත් රටවල් 10ක සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැදගත් තීරණ ගැනීමට නියමිත මෙවර සැසිවාරය, කලාපීය සෞඛ්‍ය පද්ධති වඩාත් සාධාරණ, ප්‍රවේශ විය හැකි සහ ඔරොත්තු දෙන සෞඛ්‍ය පද්ධති බවට පත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් වනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

