Latestදේශීය

සිහින ගමනාන්තය හිඟුරක්ගොඩ නවීකරණය කරයි

Clean Sri Lanka ජාතික වැඩසටහනේ මූලිකත්වයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වයෙන් දිවයිනේ දුම්රිය ස්ථාන 100ක පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නවීකරණය කෙරෙන දෙවන දුම්රිය ස්ථානය ලෙස හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානයේ පහසුකම් වැඩිදියුණු කිරීමේ “සිහින ගමනාන්ත” ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 03 වැනිදා සිදු කෙරිණි.

“සිහින ගමනාන්ත” වැඩසටහන යටතේ නවීකරණය කරන ලද කදුරුවෙල දුම්රිය ස්ථානය මේ වන විට ජනතා පරිහරණයට විවෘත කර තිබේ.

නැගෙනහිර දුම්රිය මාර්ගයේ ගල්ඔය සහ පොළොන්නරුව දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය වසර 45ක පමණ කාලයක් සංවර්ධනයට ලක් නොවූ, අවම පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.

මගී ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා පමණක් නොව, විවිධ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය සඳහාද වැදගත් වන මෙම දුම්රිය ස්ථානය රුපියල් මිලියන 40ක පමණ වියදමින් පූර්ණ නවීකරණයකට ලක් කිරීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය CIC Holding PLC ආයතනය විසින් සපයනු ලබයි.

මෙරට පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් වන අතර, ඒ යටතේ බස් රථ හා දුම්රිය සේවා සංවර්ධනය සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.

මානව හා භෞතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, නවීන තාක්ෂණය හඳුන්වාදීම සහ ඩිජිටල්කරණය ඇතුළු ක්‍රියාමාර්ග හරහා නව ප්‍රවාහන සංස්කෘතියක් නිර්මාණය කිරීම රජයේ අරමුණ වී තිබේ.

කෙටි, මධ්‍ය හා දිගුකාලීන සංවර්ධන සැලසුම් හරහා ලෝකයේ සංවර්ධිත රටවල භාවිත වන බහුවිධ ප්‍රවාහන පද්ධතියක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ මැදිහත්වීමෙන් සමස්ත ප්‍රවාහන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරමින් පවතී.

මෙම නවීකරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා, ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි සහ පද්මසිරි බණ්ඩාර යන මහත්වරුන්, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා, Clean Sri Lanka ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා, එහි අධ්‍යක්ෂ එච්.පී.එස්. ශාන්ත මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

එමෙන්ම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉදිපොලගේ මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) රංජිත් පත්මලාල් මහතා, අධිකාරි ඉංජිනේරු (නැගෙනහිර) නිසල් ලියනාරච්චි මහතා, ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා පාලම්) ප්‍රියන්ත දීගල මහතා, දුම්රිය ස්ථානය නවීකරණය සඳහා මූල්‍ය අනුග්‍රහය සපයන CIC Holding PLC හි කළමනාකාර අධ්‍යක්ෂ වරුණ මදවන ආරච්චි මහතා සහ එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ අංජන ලීලාරත්න මහතා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *