සංවිධානාත්ම අපරාධ මැඩලීමට නව පනත් කෙටුම්පතක්
‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබා දී තිබේ.
ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම, බරපතල අපරාධවලට එරෙහිව කාර්යක්ෂමව කටයුතු කිරීම සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ වේ.
එමෙන්ම, ජාතික හා ජාත්‍යන්තර සහයෝගිතාව තුළින් බරපතල අපරාධ වැළැක්වීම සහ ඒවාට එරෙහිව කටයුතු කිරීම මෙන්ම, ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය පදනම සැකසීමද මෙමඟින් අපේක්ෂා කෙරේ.
2026 මාර්තු 30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබූ අතර, ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත සකස් කර ඇත. ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී තිබේ.
ඒ අනුව, පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

