Latestදේශීය

ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා උසාවියට කැදවන්න නියෝග

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයට අදාළව රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට ලබන 22 වැනිදා විවෘත අධිකරණයේ පෙනී සිට අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (15) නොතීසි නිකුත් කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ (15) දින කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

එමෙන්ම පාස්කු දා ප්‍රහාරයට අදාළව ලැබුණු බුද්ධි තොරතුරු වසන් කරමින් කටයුතු කළ බව කියන රාජ්‍ය බුද්ධි සේවයේ අන්තවාදී කණ්ඩායම් අංශ ප්‍රධානී පොලිස් පරීක්ෂක රන්ජන් සෙනරත් බණ්ඩාර නමැත්තාට විදේශ ගමන් තහනමක් පැනවූ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය.

ඔහු විමර්ශනවලට අවශ්‍ය අයකු වීම සහ ඔහු රටින් පලායාමේ අවදානමක් පවතින බවට දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේය.

එසේම මේ මහා ව්‍යසනයට යුද හමුදා බුද්ධි අංශ චේතනාන්විතව සහය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කර කඩිනමින් අධිකරණයට සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන බවත් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ දන්වා සිටියේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙසේ කියා සිටියේය.

ස්වාමීනී, මේක රණවිරු ක්‍රියාවලියක්ද, දේශද්‍රෝහී ක්‍රියාවලියක්ද, මිනීමරු ක්‍රියාවලියක්ද, අපරාධකාරි ක්‍රියාවලියක්ද යන්න සම්බන්ධයෙන් ඉතාමත් නුදුරේදීම අධිකරණය හමුවේ ඔප්පු කිරීමට සූදානමින් සිටිනවා.

මඩකලපුව පිහිටි ගිරිතලේ ඒකකය දේශපාලන ක්‍රියා, පහරදීම්, පැහැරගැනීම් සහ ඝාතනවලට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වී තිබෙනවා. 2019 පාස්කු දා ප්‍රහාරයට දින කීපයකට පෙර ප්‍රහාරයකට සූදානමක් තියෙනවා කියන කාරණය තොරතුරුකරුවකු විසින් නිශ්චිතව යුද හමුදා බුද්ධි ඒකකයට භාර දෙනවා. යුද හමුදා බුද්ධි ඒකකය රණවිරුවෝ කියා ගන්නා මේ පිරිස තොරතුරු ලැබී තිබියදී නිහඬව ඉන්නවා.

ස්වාමීනී, රැඳවුම් නියෝග භාරයේ සිටියදීයි මේ පුද්ගලයා උපවාසය පටන් ගන්නේ. දිවි නසා ගැනීමට සිතෙනවා යැයි මනෝ වෛද්‍ය වාර්තා පෙන්වා මවා ගත් නාටකයක් රඟ දක්වමින් කටයුතු කරමින් සිටින්නේ. මම ඒකයි කිව්වේ ස්වාමීනී, සුරේෂ් සලේ කියන පුද්ගලයාට ඔස්කාර් සම්මානය දෙන්න ඕන කියලා. හොඳම දේ කියන්නේ මොහු උපවාසය පටන් ගන්නේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගමන් තහනමක් ගත්ත ගමන්. දින 03ක් යද්දී උපවාසයක් පටන් ගන්නවා. තමුන්ට උඩින් ඉන්න පිරිස් ආරක්ෂා කරන්න රෝහල්ගත වෙනවා. මොහු රෝහල්ගත වෙන්නේ ජූනි මාසේ පස්වැනිදා. අද සැප්තැම්බර් මාසේ 15. අදට දින සීයක් මොහු රෝහලේ. විමර්ශන කරන්න, ප්‍රකාශ ගන්න කිසිවක් කිරීමට බැහැ. ස්වාමීනී, මේකෙ පැහැදිලිව වෛද්‍ය කුමන්ත්‍රණයක් තියෙනවා. සැකකරුගේ ඇස් බලනවා, දත් සුද්ද කරනවා, කන් බලනවා වගේ පරීක්ෂණ තමයි කරන්නේ. හිටපු ජනාධිපතිවරයකුත් මෙහෙම බොරුවට රෝහල්ගත වුණා. ඒ වගේම තමයි මේ සිද්ධියත්. වාර්තාවක් නිකුත් කරන්න කිව්වත් රෝහල් අධ්‍යක්ෂ වාර්තා එවා නෑ. සැත්කමක් කළත් සතියෙන් ගෙදර යවනවා. මේ ක්‍රියාදාමය නවත්වන්න ඕන. මේ නිසා ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට වෛද්‍ය වාර්තාව සමඟ අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කරන්න. මේක වැදගත් නඩුවක්. මේ වන විට මේ සිද්ධියට අදාළව සුවිශේෂී සාක්ෂි රැසක් අනාවරණය වී තිබෙනවා. සමාජයේ මේ කාරණා ගැන සංවාදයක් ඇති වී තිබෙනවා. මැරෙන්න ඉන්න මිනිහා රීට් නඩු දානවා නීතිඥවරුන්ට උපදෙස් දෙනවා. මේවා විය හැකි දේවල්ද? මේවා නාට්‍ය. වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් රෝහලෙන් විමසීමක් කළාම අධිකරණයට යවනවා කියලා විමර්ශකයන්ට කියනවා. හෘදයේ ප්‍රශ්නයකට දින 100ක් රෝහලේ ඉන්න අවශ්‍ය නෑ. මොහුට කර තිබෙන්නේ හෘද ස්පන්දනය විධිමත් කිරීමට යන්ත්‍රයක් සවි කිරීම පමණයි. ඒක කරලා දවසෙන් ගෙදර යවන්න පුළුවන්. මේකටද දින 100ක් රෝහලේ ඉන්නේ. ස්වාමීනී, හෘද සැත්කමක් තිබෙනවා නම් දින 100ක් රඳවාගෙන ඉන්න බැහැ. රැඳවුම් නියෝගය ව්‍යර්ථ කරමින් ජාතික රෝහලේ තවදුරටත් රැඳී සිටීමට ඉඩ දෙන්න බෑ.

ස්වාමීනී, එසේම මෙහි විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් පසුගිය දින සවිස්තරාත්මක වාර්තාවක් දුන්නා. නව කාරණා රැසක් අනාවරණය වී තිබෙනවා. මෙහිදී යුද හමුදා බුද්ධි අංශ මීට චේතනාන්විතව සහය දී ඇති කාරණය සලකා බැලීමයි මේ සිද්ධියේ වැදගත්ම පැතිකඩ වන්නේ. යුද හමුදා බුද්ධි බළකායේ 1 සහ 2 ලෙස සන්නද්ධ අංශ දෙකක් තිබෙනවා. වවුනියාවේ පිහිටි සන්නද්ධ බුද්ධි අංශ 1 සහ මඩකලපුව පිහිටි සන්නද්ධ බුද්ධි අංශ 3 සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලැබුවා. මෙහි සන්නද්ධ බුද්ධි අංශ 3 මඩකලපුව පිහිටි ගිරිතලේ ඒකකය දේශපාලන ක්‍රියා, පහරදීම්, පැහැරගැනීම් සහ ඝාතනවලට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වී තිබෙන්නේ. මේ අංශ දෙකටම තොරතුරුකරුවන් සිටිනවා. මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බුද්ධි අංශවල ප්‍රධාන තොරතුරුකරුවෙක් සිටිනවා. ඔහු මම නාමිකව තම්බියන් ලෙස හඳුන්වනවා. ඔහු මුහුදු කොටි බළකායට අනුයුක්ත වෙලා ඉඳලා ඉන්දියාවට යනවා. එහිදී ඔහු අත්අඩංගුවට පත් වෙනවා. ඔහුට නඩු පවරනවා. 2011 නිදහස් වී ඉන්දියාවේ රහස් ඔත්තු සේවයට සම්බන්ධ වී ඒ තොරතුරු ශ්‍රී ලංකාවට සපයනවා. පසුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙනවා. 1 සන්නද්ධ බළකායේ සුරංග කියන හමුදා කෝප්‍රල්වරයා තමයි ඔහුව මෙහෙයවන්නේ. ඒ අංශය භාර කර්නල් රණවීර කියන නිලධාරියාට මේ තොරතුරු ලබා දෙනවා. 2018 සිට තම්බියන් කියන පුද්ගලයා සහරාන් සහ කණ්ඩායම මෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටින බවටත් ඔවුන් බෝම්බ පිපිරවීම සම්බන්ධයෙන් සකස් කළ අත්පොත පවා යුද හමුදා බුද්ධි අංශයට ඔහු භාර දෙනවා. ඒ අවස්ථාවේ තමයි වවුනතිව් කියන ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය වෙලා එල්ටීටීඊය මත පැටවෙන්නේ. ඒ තොරතුර සමඟ ඒ ප්‍රහාරය කළේ එල්ටීටීඊය නෙමෙයි සහරාන් කණ්ඩායම කියලා මේ පුද්ගලයා තොරතුරක් සපයනවා මේ බුද්ධි අංශය වෙත. මේ තොරතුරු සපයන්නේ තොරතුරුකරු විසින් සුරංග කියන නිලධාරියාට. ඔහු ඒ තොරතුරු කර්නල් රණවීරට ලබා දෙනවා. කර්නල් රණවීර කරන්න ඕන මේ තොරතුරු බුද්ධි අංශ අධ්‍යක්ෂ චූලා කොඩිතුවක්කු යන බ්‍රිගේඩියර්වරයාට ලබා දීම. මේවා ඔවුන් එකක්වත් කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි 2019 පාස්කු ප්‍රහාරයට දින කීපයකට පෙර ප්‍රහාරයකට සූදානමක් තියෙනවා කියන කාරණය නිශ්චිතව යුද හමුදා බුද්ධි ඒකකයට භාර දෙනවා. යුද හමුදා බුද්ධි ඒකකය රණවිරුවෝ කියා ගන්නා මේ පිරිස තොරතුරු ලැබී තිබියදී සම්පූර්ණයෙන්ම නිහඬව ඉන්නවා. ඒ විතරක් නෙවෙයි වවුනතිව් ප්‍රහාරයේ සිට එල්ටීටීර් අජන්තන් කියන අහිංසක පුද්ගලයකු දඩමීමා කරගෙන යන ගමන දිගටම උනන්දු කරවමින් මොවුන් ඔහු ගැන පරීක්ෂණ කරමින් විමර්ශන වෙනතක යොමු කරනවා. සහරාන් ගැන විමර්ශන කිරීම මේ අය වෙනතක යොමු කරනවා. ස්වාමීනි, මේක රණවිරු ක්‍රියාවලියක්ද, දේශද්‍රෝහී ක්‍රියාවලියක්ද, මිනීමරු ක්‍රියාවලියක්ද, අපරාධකාරී ක්‍රියාවලියක්ද යන්න සම්බන්ධයෙන් ඉතාමත් නුදුරේදීම අධිකරණය හමුවේ ඔප්පු කිරීමට සූදානමින් සිටිනවා. රණවිරුවන් කියා ගන්නා මේ හමුදා බුද්ධි අංශ කළ දේශපාලන ක්‍රියා, මිනීමැරුම් සහ අපරාධ සම්බන්ධයෙන් නුදුරේදීම මේ අධිකරණය හමුවේ ඔප්පු කරනවා.

සහරාන් ආරක්ෂා කිරීමට එක්තරා සංවිධානාත්මක පිරිසකට දැඩි අවශ්‍යතාවක් තිබුණු බවට විමර්ශන අනාවරණය කර තිබෙනවා. තම්බියන් කියන පුද්ගලයා මේ නිසා කලකිරී බුද්ධි අංශවලට තොරතුරු දීම නවතා තිබෙනවා.

එසේම ස්වාමීනී, බුද්ධි අංශවලට ඍජුවම තොරතුරු සැපයූ තොරතුරුකරුවකු වන රාසික් (නාමික) අය සුරංග කියන අයට 2016 සිට තොරතුරු සපයා තිබෙනවා. ඒ තොරතුරුත් සන්නිවේදනය වී නෑ. මේ අය මේ තොරතුරු 2018 සිට දැන සිට තිබෙනවා. කිසිම පියවරක් ගෙන නෑ. කර්නල් මද්දුමගේට ප්‍රහාරයට දින 9කට පෙර මේ තොරතුරු ලැබී තිබෙනවා. තම්බියන්ගේ ප්‍රකාශයට අනුව ඔහු මේ බව කියා තිබෙනවා. ස්වාමීනී, මේ ප්‍රහාරයන්ට ව්‍යාපාරිකයෙක් සහ ප්‍රසිද්ධ දේශපාලකයෙක් සම්බන්ධයි. දේශපාලකයා රිෂාඩ් බදියුදීන්. නම කියන්න බය නෑ. ව්‍යාපාරිකයා තමයි අලව්දීන් කියන්නේ. ඔහු තමයි ෂැංග්‍රිලා බෝම්බය සහරාන් සමඟ පුපුරුවා ගත් අනෙක් කෙනා – ඉන්ෂාෆ්ගේ බිරියගේ පියා. මන්නාරමේ සිටින ඔහුගේ දුව රැඳවුම් නියෝග මත සිටියදී මුදාහරින ලෙස නියෝග නිකුත් කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. සහරාන් ඔහුට අයත් අධිබලැති බෝට්ටු මඟින් විටින් විට ඉන්දියාවට ගොස් පැමිණි බවට තොරතුරු තිබෙනවා.”

එහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ සැකකාරිය රැඳවුම් නියෝග අවසන් වී නිදහස් කළාද යන්නයි. ඊට පිළිතුරු දෙමින් දිලීප පීරිස් මහතා කියා සිටියේ ස්වාමීනී, රැඳවුම් නියෝගය අවසන් වීමට පෙර ඇය මුදාහැරියා. මේ ප්‍රහාරවලින් පසුව අලව්දීන් යන අය සැකකරුවන් රටින් පිට කිරීමටත් කටයුතු කර තිබෙනවා. මේ කුමන්ත්‍රණය යට ගහන්න හමුදා බුද්ධි අංශ කටයුතු කර තිබෙනවා. කතෝලික පල්ලියට මේ ප්‍රහාරය කළේ වෙනත් අය බව පෙන්වා මොවුන් ප්‍රහාරය කළ අය සම්බන්ධයෙන් තොරතුරු ලබා දී නැහැ. මේ කුමන්ත්‍රණයට හවුල්කරුවකු වන සෙනරත් බණ්ඩාර යන අයට විදේශ ගමන් තහනම් නියෝගයක් ඉල්ලා සිටිනවා. ඔහු රටින් පිටව යාමේ අවදානමක් මතුව තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නෑ ඔහු රිට් පෙත්සමක් ගොනුකර තිබෙන නිසා. සෙනරත් කියන පුද්ගලයා ප්‍රහාරයට පෙර මේ ත්‍රස්තවාදී නායකයන් සහරාන්ද ඇතුළු නම් 126ක ලේඛනයක් සකස් කර තිබෙනවා. බුද්ධි අංශය ප්‍රධානී නිලන්ත ජයවර්ධන එම ලේඛනයට අවශ්‍ය පියවර ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මල්ලවාරච්චි යන අයට යොමු කර තිබෙනවා. බණ්ඩාර නිලධාරියා මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කාත්තන්කුඩි යනවා. ඔහු යන්නේ සහරාන්ගේ මල්ලි ෂෙයිනා හමුවෙන්න. ඔහු ප්‍රකාශයක්වත් ලියාගෙන නැහැ. ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගත්තා නම් මේ ප්‍රහාරය සිදු වීම වළක්වා ගන්න තිබුණා. ඔහු චැට් එකක් දාලා එනවා. මෙහෙමද විමර්ශන කරන්නේ හමුදා බුද්ධි අංශ? ස්වාමීනි, මේ ප්‍රහාරය සිදු වූ විගස සයින්දමරුදු පිරිසක් මැරෙනවා. කිසිවෙක් පණ පිටින් අත්අඩංගුවට ගන්න හැකි වන්නේ නැහැ. ත්‍රිරෝද රථයකින් ගිය දෙදෙනකුත් ඝාතනය වෙනවා. මාධ්‍යවේදියකුත් මැරෙනවා. මේ සාක්ෂි සියල්ල සැඟවෙනවා. පසුව පිරිසක් ඉන්දියාවට පැන යනවා. සාරාත් පැන යනවා. ඇයගේ සාක්ෂි පවා වසන් කරනවා.

ස්වාමීනී, මෙහි සමූල ඝාතනයක් සිදු වූවාද යන්න සම්බන්ධයෙන් විමර්ශන කරනවා. මේ වනවිටත් මේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළුව පස් දෙනකුට එරෙහිව විදේශ ගමන් තහනම් ලබා ගෙන තිබෙනවා. මේ සියල්ලෙන් පසුව තමයි සුරේෂ් සලේ බුද්ධි ප්‍රධානියා ලෙස පත් වීම ලබන්නේ. සුරේෂ් සලේ මේ කුමන්ත්‍රණය පිටුපස සිටින බවට විපක්ෂ නායක ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ප්‍රකාශ කර තිබෙනවා. මේ සියලු දෙනාගෙන් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගන්නවා. මේ සිද්ධිය සම්බන්ධ තොරතුරු සියල්ල වසන් කර තිබෙන්නේ සුරේෂ් සලේගේ ගෝලයන්.

සැකකාර සුරේෂ් සලේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු නීතිඥ මඬුල්ල මෙසේ කරුණු වාර්තා කළේය.

ස්වාමීනි, පැය බාගයකට අධික දේශනයකින් පසුව මගේ සේවා දායකයා ගැන කතා කළේ නැහැ. ඔහුගේ ගෝලයන් ගැන කතා කළේ. ඒ අය ගැන මට කතා කරන්න අවශ්‍ය නැහැ. මා වෛද්‍ය වාර්තා ගැන පිළිතුරක් දෙන්නම්. වෛද්‍ය වාර්තා වෛද්‍යවරුන් සතු කාරණා. ඒ ගැන ක්‍රියාමාර්ග ඔබතුමා ගන්න. මම වෛද්‍ය වාර්තා ගැන කරුණු කියන්න දන්නේ නැහැ. නීතියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ ගැන කියා දෙන්නේ නැහැ. වෛද්‍ය වාර්තා පැමිණි පසු වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගෙන ඒ ගැන දැනුම් දෙන්නම්.”

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ලබන 22 වැනිදා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළ අතර නඩුව ලබන 22 තෙක් කල් තබන ලෙස නියෝග කළේය.

නඩු කටයුත්ත අවසන් වූ පසු සුරේෂ් සලේට අදාළ වෛද්‍ය වාර්තාව පස්වරු 3.15ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර දුන් බව අධිකරණ ආරංචි මාර්ග පැවසීය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *