Latestදේශීය

රාජපක්ෂ බලකොටුව දෙදරා යයි

(ප්‍රේමලාල් විදානගේ)

වසර ගණනාවක් පුරා මන්දගාමීව ඇදී ගිය රාජපක්ෂ පවුලේ මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ චෝදනා නීතියේ දැලට හසුකර ගැනීමේ නීතිමය මෙහෙයුම් එකවරම අතිශය ප්‍රහාරාත්මක මුහුණුවරක් ගනිමින් තීව්‍ර වී තිබේ. හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙන්ම යෝෂිත සහ රෝහිත යන රාජපක්ෂ සොහොයුරන් ඉලක්ක කරගනිමින් මේ වන විට නීතියේ රැහැන සූදානම් වෙමින් පවතී.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ අතිශය ආන්දෝලනාත්මක පුවත් මවන ලද ‘සිරිලිය සවිය’ ගිණුමේ අඳුරු ගනුදෙනු පිළිබඳව හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගෙන් වහාම ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) නියෝග කර ඇත.

රාජ්‍ය බැංකුවක සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගිය මෙම සැකකටයුතු ගිණුම සඳහා ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස “222222222V” යොදාගැනීමේ මහා ජාලිය නාඩගම මීට පෙරද හෙළිදරව් විය. රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාගයක් ලෙස ලැබුණු වෛද්‍ය උපකරණ සහ මහජන අරමුදල් අවභාවිත කිරීමේ යටගැසූ විමර්ශන මාලාව තවදුරටත් යට ගැසිය නොහැකි තැනට පත්ව ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ ඇයව FCIDය හමුවට කැඳවීමට නියමිතය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය අගාධයට ඇද දමමින් සිදුකළ එයාර්බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේ දැවැන්ත මූල්‍ය වංචාව සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව නීතිපති උපදෙස් මත නම් කර තිබේ.

එක්සත් රාජධානියේ බරපතළ වංචා විමර්ශන කාර්යාලය (SFO) මගින් හෙළිදරව් කළ සාක්ෂි පදනම් කරගනිමින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ඇතුළු පිරිසක් වටා කැරකුණු මෙම නඩුවට නාමල් රාජපක්ෂගේ නමද ඇතුළත් වීමත් සමඟ රාජපක්ෂ දේශපාලන කඳවුර දැඩි කලබලයකට පත්ව ඇත. ඔහු එළඹෙන 16 වනදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

(කතුවරයා මෙම සටහන තබන විට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්ව නැති අතර අද වනවිට එයාර්බස් නඩුවට අදාලව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත)

අතරමැදියන් යොදවා රහසිගතව අක්කර 135ක දැවැන්ත තේ වත්තක් අයිති කරගැනීමේ මහා රහස් මෙහෙයුම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන දෙදෙනාට එරෙහිව අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය (PCID) පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

‘අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර විසින් සැප්තැම්බර් 14 වනදා පරීක්ෂණ නිලධාරීන් හමුවේ පෙනී සිටිමින් අදාළ හොර ගනුදෙනුවලට අදාළ ලේඛනගත සාක්ෂි භාරදී ප්‍රකාශයක් ලබාදීමත් සමඟ මෙම පරීක්ෂණ වේගවත් වී ඇත.

මෙම පරීක්ෂණ වේගවත් වීමත් සමඟ පොළොන්නරුවේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැහැදිලි සටන්කාමී පණිවිඩයක් නිකුත් කළේය.

“මහජන ධනය සොරකම් කිරීමට එරෙහිව කිසිදු පෞද්ගලික වෛරයකින් තොරව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. මව, සහෝදරයා, දරුවන් හෝ පවුලේ ඥාති සබඳතා කියලා කිසිම වෙනසක් නැහැ. පසුගිය කාලේ අපි කරපු විමර්ශනවල ප්‍රතිඵල විදිහට දැන් එළඹෙන්නේ වගකිවයුත්තන්ට එරෙහිව සෘජුව නීතිය ක්‍රියාත්මක කරන අදියරයි.”

වසර ගණනාවක් තිස්සේ නීතිය හසුරුවමින් යටපත් කරන ලද රාජපක්ෂ පවුලේ නඩුවලට අදාළ ලිපිගොනු එකින් එක දිගහැරෙමින් පවතින අතර, ඉදිරි දින කිහිපය ශ්‍රී ලාංකේය දේශපාලනයේ තීරණාත්මක පෙරළි රැසක් සනිටුහන් කරනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *