Latestදේශීය

චීනය සහ දකුණු ආසියානු රටවල් සමඟ සාගර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් – රාමලිංගම් චන්ද්‍රසේකර්

චීනය සහ දකුණු ආසියානු රටවල් සමඟ සාගර විද්‍යාව, ධීවර කර්මාන්තය, ජලජීවී වගාව, නීල ආර්ථිකය, තාක්ෂණය, ආයෝජන, මානව සම්පත් සංවර්ධනය සහ දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර රැසක දීර්ඝකාලීන හා ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.

චීනයේ තෙදින නිල සංචාරයක නිරතව සිටින අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ක්විංඩාඕ (Qingdao) බටහිර වෙරළබඩ නව කලාපයේ සැප්තැම්බර් 17 සහ 18 දෙදින පැවති “චීන – දකුණු ආසියානු රටවල සාගර සහයෝගීතා සංසදය” (China–South Asian Countries Marine Cooperation Forum) හි සමාරම්භක දේශනය පවත්වමිනි.

චීන ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයේ සාගර විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සෙක්අන් වෙයි මහතාගේ ආරාධනයකට අනුව අමාත්‍යවරයා මෙම සංසදයට සහභාගී විය.

චීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින සහ පාකිස්ථානය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්, විශේෂඥයන් සහ විද්වතුන් 100කට අධික පිරිසක් සහභාගී වූ මෙම සංසදයේදී දේශගුණික විපර්යාස, සාගර පරිසර ආරක්ෂණය, සාගර ආපදා නිරීක්ෂණය හා පූර්ව අනතුරු ඇඟවීම්, සාගර විද්‍යාව හා තාක්ෂණය, ආපදා අවදානම් අවම කිරීම සහ මානව සම්පත් සංවර්ධනය ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ලොව ප්‍රමුඛතම ධීවර හා ජලජීවී නිෂ්පාදකයකු ලෙස චීනය සතු දීර්ඝකාලීන අත්දැකීම්, විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව, ආයෝජන, සැලසුම්කරණය සහ ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවලට වැදගත් සහයෝගීතා අවස්ථා සපයන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ අනාගත ධීවර සංවර්ධනය මත්ස්‍ය සම්පත් මත පවතින පීඩනය වැඩි කිරීමකට සීමා නොවී, ජලජීවී වගාව, සාගර ආශ්‍රිත කර්මාන්ත, අගය එකතු කළ නිෂ්පාදන සහ නව තාක්ෂණයන් ප්‍රවර්ධනය කරමින් නීල ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

සාගර සම්පත් තිරසාර ලෙස භාවිත කරමින් ඒවායේ ආර්ථික වටිනාකම ඉහළ නැංවීම, වෙරළබඩ ජනතාවගේ ජීවනෝපාය සහ රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා නවීන ධීවර යටිතල පහසුකම්, විද්‍යාව හා තාක්ෂණය, ආයෝජන, නවෝත්පාදන, අගය එකතු කිරීම සහ කාර්යක්ෂම මානව සම්පත් අත්‍යවශ්‍ය බව ද හෙතෙම සඳහන් කළේය.

ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා ඇති ශ්‍රී ලංකාවට කලාපයේ ප්‍රධාන ධීවර, ජලජීවී වගා සහ සාගර ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට පැමිණීමට සැලකිය යුතු අවස්ථා පවතින බවත්, සාගර සම්පත් ආරක්ෂා කිරීම හා ආර්ථික වර්ධනය සමබර කරගත් තිරසාර සංවර්ධන ප්‍රවේශයක් අනුගමනය කිරීම අවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය.

දේශගුණික විපර්යාස, සාගර දූෂණය, සාගර සම්පත් ක්ෂය වීම සහ නීති විරෝධී, වාර්තා නොකළ හා නියාමනය නොකළ ධීවර කටයුතු (IUU Fishing) වැනි අභියෝග කිසිදු රටකට පමණක් සීමා නොවන බැවින්, කලාපීය රටවල් අතර ඒකාබද්ධ පර්යේෂණ, දත්ත හුවමාරුව, සාගර නිරීක්ෂණය, තාක්ෂණික දැනුම හුවමාරුව සහ ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

චීනය සහ ශ්‍රී ලංකාව යන දෙරටම ධීවර කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකරමින් පවතින බැවින්, දෙරට අතර ප්‍රතිපත්ති, නීතිමය රාමු සහ තාක්ෂණික අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

චීනයේ ධීවර නීතියේ පුළුල් ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව නව නීතිමය විධිවිධාන 2026 මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාවේ ද 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත වෙනුවට නව ධීවර පනතක් සකස් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.

චීනයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන පුහුණු වැඩසටහන්, තාක්ෂණික සහයෝගීතාව, දැනුම හුවමාරුව සහ ජලජීවී වගා ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කරමින් දෙරට අතර සාගර සහයෝගීතාව නව මට්ටමකට ගෙන යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.එච්.එම්.එල්. අමරලාල් මහතා සහ සාගර විද්‍යා අංශයේ ප්‍රධාන පර්යේෂක ආචාර්ය ඩබ්ලිව්.එන්.සී. ප්‍රියදර්ශනී මහත්මිය සහභාගී වූහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *