Latestදේශීය

තෙලිප්පලෙයි රෝහලේ වෛද්‍ය නිවාස සංකීර්ණය වෛද්‍ය කාර්ය මණ්ඩලයට

යාපනය දිස්ත්‍රික්කයේ තෙලිප්පලෙයි මූලික රෝහලේ රුපියල් මිලියන 196.6ක වියදමින් අභිනවයෙන් ඉදිකරන ලද සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාස සංකීර්ණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත නිල වශයෙන් භාරදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

තෙලිප්පලෙයි මූලික රෝහලේ සේවයේ නිරත වෛද්‍ය නිලධාරීන් සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් නොතිබීම හේතුවෙන් දීර්ඝ කාලයක් පැවති ගැටලුවට විසඳුමක් ලෙස මෙම නිවාස සංකීර්ණය ඉදිකර තිබේ.

නව නිවාස සංකීර්ණය මඟින් වෛද්‍ය නිලධාරීන් 22 දෙනෙකුට පමණ නේවාසික පහසුකම් සැලසෙන අතර, එමඟින් වෛද්‍ය කාර්ය මණ්ඩලයට යහපත් සේවා පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම රෝගී සත්කාර සේවා අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට ද හැකියාව ලැබෙනු ඇත.

උතුරු පළාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකර ඇති මෙම නිවාස සංකීර්ණය රෝහල් පද්ධතියේ මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් වන අතර, ජනතාවට ගුණාත්මක හා අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් සංවර්ධනය කෙරෙහි රජය අවධානය යොමු කරමින් සිටී.

මේ අතර, තෙලිප්පලෙයි මූලික රෝහලේ ප්‍රතිකාර සේවා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිකරමින් පවතින රසායනාගාරය, සී.ටී. හා එම්.ආර්.අයි. අංශ සහ වාට්ටු ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් රැසකින් සමන්විත සිව් මහල් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ප්‍රගතිය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

උතුරු පළාතේ සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රෝහල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ අවශ්‍ය මානව හා භෞතික සම්පත් සපුරාලීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. එමඟින් ප්‍රදේශයේ ජනතාවට තම ප්‍රදේශය තුළදීම වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම අරමුණ වී තිබේ.

මෙම අවස්ථාවට උතුරු පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනූජා මුරුගේසන් මහත්මිය, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී. ජෙයරානි මහත්මිය, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය වී.පී.එස්.ඩී. පතිරණ මහතා, තෙලිප්පලෙයි මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී. තෙවනේෂන් මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් රැසක් එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *