Latestදේශීය

නාවික හමුදාව භාරයට ගත් කිලෝ 150කට අධික මත්ද්‍රව්‍ය තොගය

නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකින් දකුණු ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී කිලෝග්‍රෑම් 150කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

අද (05) උදෑසන අදාළ ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ අතර, එහිදී උර 10ක තිබූ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක්කෙරුණි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර මහතා ද අද උදෑසන දික්ඕවිට ධීවරාය වෙත ගොස් තිබූ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අදාළ මත්ද්‍රව්‍ය තොගයේ කිලෝ 100කට අධික අයිස් ප්‍රමාණයක් සහ කිලෝ 50කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබුණු බවය.

එම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් බිලියන 3කට අධික බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් නාවික හමුදාව විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මේවනවිට ගණනය කිරීම් සිදුකරමින් පවතී.

විශේෂ නාවික මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඊයේ (04) දිනයේ නාවික හමුදාව සිය භාරයට ගනු ලැබීය.

එහිදී ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන්ද  අද උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබුණි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මත්ද්‍රව්‍ය මෙරටින් තුරන්කිරීමට රජයක් ලෙස සිදුකළ හැකි සියලු දේ ඉටුකරන බවය.

මෙහිදී නාවික හමුදාවට විශේෂ ස්තූතියක් පිරිනැමූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට, ත්‍රිවිධ හමුදාවට වගකීම පවරා ඇති බවය.

2025 වසරේදී නාවික හමුදාව පමණක් රු බිලියන 75ක මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ඇති අතර, රටම එකට යටතේ රු බිලියන 109කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගැනීමට නාවික ක්‍රියාකර ඇතැයි ද පැවසු අරුණ ජයසේකර මහතා, 2026 වසරේ ගතවූ කාලය තුළ පමණක් රුපියල් බිලියන 69ක වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය නාවික හමුදා මෙහෙයුම් මඟින් සියභාරයට ගෙන ඇතැයි ද පැවසීය.

මේ අතර, මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 314,200ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් ප්‍රබල සාමාජිකයින් 1,050ක් වන බවද ඒ මහතා, නාවික හමුදාව මඟින් මත්ද්‍රව්‍ය සහිත යාත්‍රා 63ක් සිය භාරයට ගෙන ඇතැයි ද සඳහන් කළේය.

බහුදින යාත්‍රා 11ක් එ් අතර වන බවත් පුද්ගලයින් 353දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය සැපයීම අඬාල කිරීමට රජයේ මුලික අරමුණ බවද පැවසිය.

ජාවාරම්කරුවන්ට රජයෙන් කිසිදු බේරීමක් නොමැති බවත් රටේ අනාගතය තීරණය කරනු ලබන්නේ ජාවාරම්කරුවන් නොව ජනතාව බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර 1818 ක්ෂණික දුරකථන අංකය මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් ලබාදෙන ලෙසට ද ඒ මහතා ජනතාවට දැනුම්දුන්නේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *