අවධානම පහව යයි – මහවැසි අඩුවෙයි
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ඉන්දියානු ගොඩබිම් කලාපයට ඇතුළු වී ඇත. එම ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බවත් එය මෙරට කාලගුණ තත්ත්වයට කළ බලපෑම, අද (25) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවේ යැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් සඳහන් කරයි.
එහි බලපෑම හේතුවෙන් බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩි වීමත් සමඟ එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.
එම නිසා උතුරු අක්ෂාංශ 10ත් 22ත් සහ නැඟෙනහිර දේශාංශ 82ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. මේ වන විට එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශවලින් ඉවත්වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.
පවතින අයහපත් කාලගුණයෙන් පසුගිය 18 වැනිදා සිට ඊයේ (24) පස්වරුව වනවිට දිස්ත්‍රික්ක 15ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 90ක පවුල් 768ක, පුද්ගලයන් 2,865ක් බලපෑමට ලක්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තත්ත්ව වාර්තාව නිකුත් කරමින් සඳහන් කරයි. මියයාම් 03කි. තුවාල වූ පුද්ගලයන් ගණන 02කි. අතුරුදන් වූ පුද්ගලයන් ගණන 01කි. පූර්ණ හානි නිවාස 02කි. අර්ධ නිවාස හානි 351කි. ආරක්ෂිත ස්ථාන 03ක පවුල් 21ක පුද්ගලයන් 77ක් සිටින බවද එහි සඳහන් වේ.
නිල්වලා, ගිං ගංගා ද්‍රෝණි වෙත මේ වන විට ලැබී පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අද (25) පස්වරුව දක්වා වලංගුවන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය- දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් සහ එම ප්‍රදේශය හරහා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
එමෙන්ම කළු ගඟ, කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම හෙට (26) පෙරවරුව දක්වා දීර්ඝ කර තිබේ.
පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ගාල්ල, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල නෙලුව, නියාගම, තවලම, නාගොඩ, පස්බාගේ කෝරළය, උඩ පළාත, ගඟ ඉහළ කෝරළේ, දොළුව, කොත්මලේ බටහිර, නෝවුඩ්, කොත්මලේ නැඟෙනහිර, අඹගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉවත්වීමේ රතු නිවේදන නිකුත්කර තිබේ. එමෙන්ම කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයෑම් පිළිබඳව අනතුරු ඇඟවීමේ දෙවන සහ පළමු අදියරේ නිවේදන නිකුත් කර තිබේ. අද (25) පස්වරු 5.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් වලංගු වේ.
අද (25) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30 – 40ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා මීගමුව දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55-65 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. මීගමුව සිට බේරුවල හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50-55 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0-2.5ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතී. එම කාරණා සම්බන්ධයෙන් අදාළ මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. ජලාශ ගණනාවක වාන් දොරටු විවෘත කර තිබේ. එමෙන්ම ඊයේ (24) දිනයේ පෙ.ව. 8.30න් අවසන් වූ පැය විසිහතර තුළ වැඩිම වර්ෂාපතනය මි.මී 153.1ක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ පලටුපාන ප්‍රදේශයෙන් වාර්තාවිය.
අයහපත් කාලගුණික තත්ත්වය යටතේ පෙරේදා (23) රාත්‍රිය මුළුල්ලේ නොකඩවා ඇදහැලුණු අධික වැස්සත් සමඟ ඊයේ (24) දහවල් වන විට නිල්වලා ගඟ ස්ථාන තුනකින් පිටාර ගලා මාර්ග යට වී සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබුණි.
ආපදා කළමනාකරණ අංශ වාර්තා අනුව දෙනියාය, පල්ලේගම, කූඩළුදෙනිය, මොරවක, කළුබෝවිටියන, නෙළුව හා වරාපිටිය යන ප්‍රදේශයන්ට මිලිමීටර 100 ඉක්මවූ වැසි පෙරේදා (23) රාත්‍රිය මුළුල්ලේ ඇද හැලී ඇති බව වාර්තා විය.
ඒ අනුව ඌරව, පිටබැද්දර හා තල්ගහගොඩ ජල මාපකවල වාර්තා අනුව එය අවදානම් මට්ටමට පැමිණ ඇති බවත් පානදුගම සවිකොට ඇති ජල මාපකයේ තොරතුරු අනුව එය සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇති බවත් අදාළ වාර්තාවල සඳහන් විය.
පෝරුපිටිය පාලම, පිටබැද්දර සියඹලාගොඩ මහ පොතුවිල පාලම හා තිහගොඩ වැල්ලේතොට පාලම ආශ්‍රිතව අපද්‍රව්‍ය හා උණ පඳුරු රැඳීම නිසා එහි වැඩි වශයෙන් ජලය එක්රැස්වී පාලම්වලට හානි වීමේ අවදානමක් පැවැති බවද ප්‍රදේශවාසීහු පැවසූහ. මෙහිදී පිටබැද්දර සියඹලාගොඩ මහ පොතුවිල පාලම ආසන්නයේ අපද්‍රව්‍ය, උණ පඳුරු හා විශාල ගස් කඳන් රැඳී පාලමට හානිවීමට ආසන්න වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් එක්ව එම අපද්‍රව්‍ය හා විශාල ගස් කඳන් බැකෝ යන්ත්‍ර මාර්ගයෙන් ඉවත් කිරීමට ද කටයුතු කොට තිබූ අතර මින් පෙර ගංවතුර අවස්ථාවේදී මෙම පාලමට හානි සිදුවූ බවද පරිසරවේදියකු වූ කීර්ති විජේවංශ මහතා පැවසූවේය.
සුළු ගංවතුර තත්ත්වයත්, වැසි ජලය පිරීයෑමත් හේතුවෙන් අකුරැස්ස, සියඹලාගොඩ මාර්ගය, මොරවක, නෙළුව මාර්ගය හා පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මාර්ගයක කොටසක් ද ඇතුළු අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටව පැවැතියේ ය.
ඇතිව තිබෙන සුළු ගංවතුර තත්ත්වයේ ජලය මාතර තොටමුණ මෝය කට දක්වා පහළට ගලා බැසිමේදී තියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ කීපයක ජලය වැඩිවීමේ තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට තව දුරටත් වැසි පතිත වීමත් සමග ඉහළ කොත්මලේ වාන් දොරටුවක් ඊයේ (24) දින විවෘත කිරීමට පියවර ගෙන ඇත.
ඒ පිළිබඳව කරන ලද විමසීමකදී එම ජලාශය භාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පෙරේදා (23) දින සවස් කාලයේ සිට වැසි වර්ධනය වීමෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගත් බවත්ය.
මෙම ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යෑමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක, පවුල් 28ක, පුද්ගලයන් 98 දෙනකු පීඩාවට පත්ව සිටින බවත්, නිවාස 26කට අර්ධහානි සිදුවී ඇති බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (24) දවල් නිකුත් කළ ආපදා තත්ත්ව වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිලකඋදාගම ග්‍රාම නිලධාරී වසමේ සිදුවූ පස්කඳු කඩා වැටීම් හේතුවෙන් පවුල් 1ක පුද්ගලයෝ 4 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. නිවෙසකට අර්ධ හානි සිදුව ඇත. ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉමදුව සහ කෝදාගොඩ නැඟෙනහිර ප්‍රදේශවල පස් කඳු සහ ගස් කඩා වැටීම් සිදුවී ඇති අතර, එමගින් පවුල් 3ක පුද්ගලයෝ 9 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. නිවාස 3කට අර්ධහානි සිදුව ඇත. නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තල්ගස්වල, උඩුගම සහ මාපලගම යන ප්‍රදේශ සුළු ගංවතුර මට්ටමකට ළඟා වී තිබෙන අතර, එහිදී පවුල් 3ක පුද්ගලයෝ 9 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. නිවාස අර්ධ හානි 3ක් වාර්තා වී තිබේ. නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැඟෙනහිර බද්දේගම සහ මාවිට ප්‍රදේශවල නෙළුව දළි ඇල්ල මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇත. හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අන්නාසි වතුගොඩ ප්‍රදේශයේ සිදුවූ ගස් කඩා වැටීම් හේතුවෙන් පවුල් 1ක පුද්ගලයෝ 2 දෙදෙනෙක් පීඩාවට පත්ව සිටිති. නිවෙසකට අර්ධ හානි සිදුව ඇත. මීට අමතරව අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධික වර්ෂාව සහ ගස් කඩා වැටීම් නිසා පවුල් 9ක පුද්ගලයෝ 35 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. නිවාස අර්ධ හානි 9ක් වාර්තා වී ඇත. හික්කඩුව ප්‍රදේශයේ ගස් කඩා වැටීමෙන් පවුල් 4ක පුද්ගලයන් 16 දෙනකුටත් බලපෑම් එල්ල වී තිබේ. නිවාස 04කට අර්ධහානි සිදුව ඇත. එමෙන්ම රත්ගම, බෝපේ පෝද්දල, අම්බලන්ගොඩ සහ මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද ආපදා සිද්ධි වාර්තා වී ඇත. අවශ්‍යතාව මත පීඩාවට පත් පිරිස් සඳහා පිසූ ආහාර ලබා දීමට කටයුතු සූදානම් කර ඇති අතර නෙළුව, නාගොඩ, තවලම සහ බද්දේගම ප්‍රදේශ සඳහා සහන සේවා කණ්ඩායම් ස්ථානගත කිරීමටද පියවර ගෙන තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

