Latestදේශීය

අවධානම පහව යයි – මහවැසි අඩුවෙයි

බෙංගාල බොක්ක ආශ්‍රි­තව පැවති ගැඹුරු පීඩන අව­පා­තය, ඉන්දි­යාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ඉන්දි­යානු ගොඩ­බිම් කලා­ප­යට ඇතුළු වී ඇත. එම ගැඹුරු පීඩන අව­පා­තය, පීඩන අව­පා­ත­යක් දක්වා දුර්වල වෙමින් පව­තින බවත් එය මෙරට කාල­ගුණ තත්ත්ව­යට කළ බල­පෑම, අද (25) දිනයේ සිට ක්‍රම­යෙන් අඩුවේ යැයි අපේක්ෂා කරන බවත් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව කාල­ගුණ අනා­වැ­කි­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි.

එහි බල­පෑම හේතු­වෙන් බට­හිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේ­ශයේ ගිගු­රුම් සහිත තද වැසි ඇති­වන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩි වීමත් සමඟ එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.

එම නිසා උතුරු අක්ෂාංශ 10ත් 22ත් සහ නැඟෙ­න­හිර දේශාංශ 82ත් 90ත් අතර මුහුදු ප්‍රදේ­ශ­වල, නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කට­යු­තු­ව­ලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. මේ වන විට එම ප්‍රදේ­ශයේ ධීවර කට­යු­තු­වල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේ­ශ­ව­ලින් ඉව­ත්වන ලෙසත් උප­දෙස් දෙනු ලැබේ.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළි­බ­ඳව අව­ධා­න­යෙන් පසු­වන ලෙසත් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ ඉදිරි නිවේ­දන සහ අනා­වැකි සම්බ­න්ධ­යෙන් විම­සි­ලි­මත් වන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

පව­තින අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පසු­ගිය 18 වැනිදා සිට ඊයේ (24) පස්ව­රුව වන­විට දිස්ත්‍රික්ක 15ක, ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස 90ක පවුල් 768ක, පුද්ග­ල­යන් 2,865ක් බල­පෑ­මට ලක්වී ඇති බව ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය තත්ත්ව වාර්තාව නිකුත් කර­මින් සඳ­හන් කරයි. මිය­යාම් 03කි. තුවාල වූ පුද්ග­ල­යන් ගණන 02කි. අතු­රු­දන් වූ පුද්ග­ල­යන් ගණන 01කි. පූර්ණ හානි නිවාස 02කි. අර්ධ නිවාස හානි 351කි. ආර­ක්ෂිත ස්ථාන 03ක පවුල් 21ක පුද්ග­ල­යන් 77ක් සිටින බවද එහි සඳ­හන් වේ.

නිල්වලා, ගිං ගංගා ද්‍රෝණි වෙත මේ වන විට ලැබී පව­තින අධික වර්ෂා­ප­ත­නය හේතු­වෙන් අද (25) පස්ව­රුව දක්වා වලං­ගු­වන පරිදි වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව ගංව­තුර අන­තුරු ඇඟ­වීම් නිකුත් කර තිබේ. ඒ අනුව පස්ගොඩ, කොට­පොළ, පිට­බැ­ද්දර, අකු­රැස්ස, අතු­ර­ලිය, මාලි­ම්බඩ, කඹු­රු­පි­ටිය, තිහ­ගොඩ, තව­ලම, නාගොඩ, බද්දේ­ගම, වැලි­වි­ටිය- දිවි­තුර යන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­වල පිටාර තැන්නට අයත් පහ­ත්බිම් ප්‍රදේ­ශ­ව­ලට සුළු ගංව­තුර තත්ත්ව­යක් ඇති­විය හැකි බැවින් දැඩි සැල­කි­ල්ලෙන් කට­යුතු කරන ලෙස එම ප්‍රදේ­ශ­වල ජන­තා­ව­ගෙන් සහ එම ප්‍රදේ­ශය හරහා වාහන පද­ව­න්න­න්ගෙන් වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව ඉල්ලා සිටී.

එමෙන්ම කළු ගඟ, කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංව­තුර අන­තුරු ඇඟ­වීම හෙට (26) පෙර­ව­රුව දක්වා දීර්ඝ කර තිබේ.

පව­තින අධික වර්ෂා තත්ත්වය හේතු­වෙන් ගාල්ල, මහ­නු­වර, නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්ක­වල නෙලුව, නියා­ගම, තව­ලම, නාගොඩ, පස්බාගේ කෝර­ළය, උඩ පළාත, ගඟ ඉහළ කෝරළේ, දොළුව, කොත්මලේ බට­හිර, නෝවුඩ්, කොත්මලේ නැඟෙ­න­හිර, අඹ­ග­මුව යන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස සඳහා ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නය ඉව­ත්වීමේ රතු නිවේ­දන නිකු­ත්කර තිබේ. එමෙන්ම කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බ­න්තොට, කළු­තර, මහ­නු­වර, කෑගල්ල, කුරු­ණෑ­ගල, මාතර, නුව­ර­එ­ළිය, රත්න­පුර දිස්ත්‍රික්ක සඳහා නාය­යෑම් පිළි­බ­ඳව අන­තුරු ඇඟ­වීමේ දෙවන සහ පළමු අදි­යරේ නිවේ­දන නිකුත් කර තිබේ. අද (25) පස්වරු 5.00 දක්වා මෙම අන­තුරු ඇඟ­වීම් වලංගු වේ.

අද (25) දිනයේ බස්නා­හිර, සබ­ර­ග­මුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළා­ත්වල විටින් විට වැසි හෝ ගිගු­රුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන­ව­ලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳු­ක­රයේ බට­හිර බෑවුම් ප්‍රදේ­ශ­ව­ලත් උතුරු-මැද සහ වයඹ පළා­ත්ව­ලත් ත්‍රිකු­ණා­ම­ලය, හම්බ­න්තොට සහ මාතලේ දිස්ත්‍රි­ක්ක­ව­ලත් විටින් විට හමන පැ.කි.මී. 30 – 40ක පමණ තර­මක් තද සුළං ඇති­විය හැකිය.

ගිගු­රුම් සහිත වැසි සමඟ ඇති­විය හැකි තාව­කා­ලික තද සුළං­ව­ලින් සහ අකුණු මඟින් සිදු වන අන­තුරු අවම කර ගැනී­මට අවශ්‍ය පිය­වර ගන්නා ලෙසද කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටී.

ත්‍රිකු­ණා­ම­ලය සිට කන්ක­ස­න්තු­රය සහ මන්නා­රම හරහා මීග­මුව දක්වා සහ ගාල්ල සිට හම්බ­න්තොට හරහා පොතු­විල් දක්වා වෙර­ළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේ­ශ­වල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55-65 දක්වා වැඩි­වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. මීග­මුව සිට බේරු­වල හරහා ගාල්ල දක්වා වෙර­ළට ඔබ්බෙ­න්වන මුහුදු ප්‍රදේ­ශ­වල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50-55 දක්වා වැඩි­වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. එමෙන්ම පුත්ත­ලම සිට කොළඹ, ගාල්ල, මාතර හරහා පොතු­විල් දක්වා වෙර­ළට ඔබ්බෙ­න්වන මුහුදු ප්‍රදේ­ශ­වල රළ උස මීටර් 2.0-2.5ක් පමණ ඉහළ යෑමේ හැකි­යා­වක් පවතී. එම කාරණා සම්බ­න්ධ­යෙන් අදාළ මුහුදු ප්‍රදේ­ශ­වල කට­යුතු කරන ධීවර හා නාවික ප්‍රජාව අව­ධා­න­යෙන් කට­යුතු කරන මෙන් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ඉල්ලා සිටී. ජලාශ ගණ­නා­වක වාන් දොරටු විවෘත කර තිබේ. එමෙන්ම ඊයේ (24) දිනයේ පෙ.ව. 8.30න් අව­සන් වූ පැය විසි­හ­තර තුළ වැඩිම වර්ෂා­ප­ත­නය මි.මී 153.1ක් ලෙස හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ පල­ටු­පාන ප්‍රදේ­ශ­යෙන් වාර්තා­විය.

අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය යටතේ පෙරේදා (23) රාත්‍රිය මුළුල්ලේ නොක­ඩවා ඇද­හැ­ලුණු අධික වැස්සත් සමඟ ඊයේ (24) දහ­වල් වන විට නිල්වලා ගඟ ස්ථාන තුන­කින් පිටාර ගලා මාර්ග යට වී සුළු ගංව­තුර තත්ත්ව­යක් ඇතිව තිබුණි.

ආපදා කළ­ම­නා­ක­රණ අංශ වාර්තා අනුව දෙනි­යාය, පල්ලේ­ගම, කූඩ­ළු­දෙ­නිය, මොර­වක, කළු­බෝ­වි­ටි­යන, නෙළුව හා වරා­පි­ටිය යන ප්‍රදේ­ශ­යන්ට මිලි­මී­ටර 100 ඉක්මවූ වැසි පෙරේදා (23) රාත්‍රිය මුළුල්ලේ ඇද හැලී ඇති බව වාර්තා විය.

ඒ අනුව ඌරව, පිට­බැ­ද්දර හා තල්ග­හ­ගොඩ ජල මාප­ක­වල වාර්තා අනුව එය අව­දා­නම් මට්ට­මට පැමිණ ඇති බවත් පාන­දු­ගම සවි­කොට ඇති ජල මාප­කයේ තොර­තුරු අනුව එය සුළු ගංව­තුර මට්ට­ම­කට පැමිණ ඇති බවත් අදාළ වාර්තා­වල සඳ­හන් විය.

පෝරු­පි­ටිය පාලම, පිට­බැ­ද්දර සිය­ඹ­ලා­ගොඩ මහ පොතු­විල පාලම හා තිහ­ගොඩ වැල්ලේ­තොට පාලම ආශ්‍රි­තව අප­ද්‍රව්‍ය හා උණ පඳුරු රැඳීම නිසා එහි වැඩි වශ­යෙන් ජලය එක්රැස්වී පාල­ම්ව­ලට හානි වීමේ අව­දා­න­මක් පැවැති බවද ප්‍රදේ­ශ­වා­සීහු පැව­සූහ. මෙහිදී පිට­බැ­ද්දර සිය­ඹ­ලා­ගොඩ මහ පොතු­විල පාලම ආස­න්නයේ අප­ද්‍රව්‍ය, උණ පඳුරු හා විශාල ගස් කඳන් රැඳී පාල­මට හානි­වී­මට ආසන්න වීම හේතු­වෙන් ප්‍රදේ­ශ­වා­සීන් එක්ව එම අප­ද්‍රව්‍ය හා විශාල ගස් කඳන් බැකෝ යන්ත්‍ර මාර්ග­යෙන් ඉවත් කිරී­මට ද කට­යුතු කොට තිබූ අතර මින් පෙර ගංව­තුර අව­ස්ථා­වේදී මෙම පාල­මට හානි සිදුවූ බවද පරි­ස­ර­වේ­දි­යකු වූ කීර්ති විජේ­වංශ මහතා පැව­සූ­වේය.

සුළු ගංව­තුර තත්ත්ව­යත්, වැසි ජලය පිරී­යෑ­මත් හේතු­වෙන් අකු­රැස්ස, සිය­ඹ­ලා­ගොඩ මාර්ගය, මොර­වක, නෙළුව මාර්ගය හා පස්ගොඩ ප්‍රාදේ­ශීය ලේකම් බල­ප්‍ර­දේ­ශයේ මාර්ග­යක කොට­සක් ද ඇතුළු අතුරු මාර්ග කිහි­ප­යක් ජල­යෙන් යටව පැවැ­තියේ ය.

ඇතිව තිබෙන සුළු ගංව­තුර තත්ත්වයේ ජලය මාතර තොට­මුණ මෝය කට දක්වා පහ­ළට ගලා බැසි­මේදී තිය­ගොඩ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සය, මාලි­ම්බඩ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සය හා මාතර ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­වල ප්‍රදේශ කීප­යක ජලය වැඩි­වීමේ තත්ත්ව­යක් ඇති විය හැකි බව වාරි­මාර්ග දෙපා­ර්ත­මේන්තු ආරංචි මාර්ග සඳ­හන් කළේය.

මධ්‍යම කඳු­ක­රයේ බට­හිර බැවුම් ප්‍රදේ­ශ­යන්ට තව දුර­ටත් වැසි පතිත වීමත් සමග ඉහළ කොත්මලේ වාන් දොර­ටු­වක් ඊයේ (24) දින විවෘත කිරී­මට පිය­වර ගෙන ඇත.

ඒ පිළි­බ­ඳව කරන ලද විම­සී­ම­කදී එම ජලා­ශය භාර නිල­ධා­රි­යකු පව­සන ලද්දේ මධ්‍යම කඳු­ක­රයේ බට­හිර බැවුම් ප්‍රදේ­ශ­යන්ට පෙරේදා (23) දින සවස් කාලයේ සිට වැසි වර්ධ­නය වීමෙන් ඉහළ කොත්මලේ ජලා­ශයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ වාන් දොර­ටු­වක් විවෘත කිරී­මට පිය­වර ගත් බවත්ය.

මෙම ජලා­ශයේ වාන් දොර­ටු­වක් විවෘත කිරී­මත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යෑමේ අව­දා­න­මක් පව­තින බවද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් පැව­සීය.

පව­තින අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන්, ගාල්ල දිස්ත්‍රි­ක්කයේ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස 12ක, පවුල් 28ක, පුද්ග­ල­යන් 98 දෙනකු පීඩා­වට පත්ව සිටින බවත්, නිවාස 26කට අර්ධ­හානි සිදුවී ඇති බවත් දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය ඊයේ (24) දවල් නිකුත් කළ ආපදා තත්ත්ව වාර්තාවේ සඳ­හන් වේ. ඒ අනුව, බද්දේ­ගම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ තිල­ක­උ­දා­ගම ග්‍රාම නිල­ධාරී වසමේ සිදුවූ පස්කඳු කඩා වැටීම් හේතු­වෙන් පවුල් 1ක පුද්ග­ලයෝ 4 දෙනෙක් පීඩා­වට පත්ව සිටිති. නිවෙ­ස­කට අර්ධ හානි සිදුව ඇත. ඉම­දුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ඉම­දුව සහ කෝදා­ගොඩ නැඟෙ­න­හිර ප්‍රදේ­ශ­වල පස් කඳු සහ ගස් කඩා වැටීම් සිදුවී ඇති අතර, එම­ගින් පවුල් 3ක පුද්ග­ලයෝ 9 දෙ‍නෙක් පීඩා­වට පත්ව සිටිති. නිවාස 3කට අර්ධ­හානි සිදුව ඇත. නාගොඩ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ තල්ග­ස්වල, උඩු­ගම සහ මාප­ල­ගම යන ප්‍රදේශ සුළු ගංව­තුර මට්ට­ම­කට ළඟා වී තිබෙන අතර, එහිදී පවුල් 3ක පුද්ග­ලයෝ 9 දෙනෙක් පීඩා­වට පත්ව සිටිති. නිවාස අර්ධ හානි 3ක් වාර්තා වී තිබේ. නෙළුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ නැඟෙ­න­හිර බද්දේ­ගම සහ මාවිට ප්‍රදේ­ශ­වල නෙළුව දළි ඇල්ල මාර්ගය ජල­යෙන් යට­වීම හේතු­වෙන් ගම­නා­ග­ම­න­යට බාධා එල්ල වී ඇත. හබ­රා­දුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ අන්නාසි වතු­ගොඩ ප්‍රදේ­ශයේ සිදුවූ ගස් කඩා වැටීම් හේතු­වෙන් පවුල් 1ක පුද්ග­ලයෝ 2 දෙදෙ­නෙක් පීඩා­වට පත්ව සිටිති. නිවෙ­ස­කට අර්ධ හානි සිදුව ඇත. මීට අම­ත­රව අක්මී­මන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ අධික වර්ෂාව සහ ගස් කඩා වැටීම් නිසා පවුල් 9ක පුද්ග­ලයෝ 35 දෙනෙක් පීඩා­වට පත්ව සිටිති. නිවාස අර්ධ හානි 9ක් වාර්තා වී ඇත. හික්ක­ඩුව ප්‍රදේ­ශයේ ගස් කඩා වැටී­මෙන් පවුල් 4ක පුද්ග­ල­යන් 16 දෙන­කු­ටත් බල­පෑම් එල්ල වී තිබේ. නිවාස 04කට අර්ධ­හානි සිදුව ඇත. එමෙන්ම රත්ගම, බෝපේ පෝද්දල, අම්බ­ල­න්ගොඩ සහ මාද­ම්පා­ගම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ව­ලද ආපදා සිද්ධි වාර්තා වී ඇත. අව­ශ්‍ය­තාව මත පීඩා­වට පත් පිරිස් සඳහා පිසූ ආහාර ලබා දීමට කට­යුතු සූදා­නම් කර ඇති අතර නෙළුව, නාගොඩ, තව­ලම සහ බද්දේ­ගම ප්‍රදේශ සඳහා සහන සේවා කණ්ඩා­යම් ස්ථාන­ගත කිරී­ම­ටද පිය­වර ගෙන තිබේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *