22 සම්මතයි
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (25) සිය සහතිකය සටහන් කළේය.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේදී පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.
පනත් කෙටුම්පත මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 සිට 65 දක්වාත් සංශෝධනය කර ඇත.
එමෙන්ම අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවා ක්‍රියාත්මක කිරීම මඟින් විභාග කිරීමට පවතින නඩු කඩිනමින් අවසන් කිරීමටත්, නඩුවල පාර්ශවකරුවන්ට කොළඹට පැමිණීමට ඇති අවශ්‍යතාව අඩු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.
ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස බලාත්මක වේ.
මේ අතර අධිකරණ සංවිධාන (සංශෝධන)පනත් කෙටුම්පත සඳහා ද කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය.
මෙම පනත සංශෝධනය මගින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්රාත්වරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නැංවීමට සංශෝධනය කර ඇත. අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය සංශෝධනය කරමින් අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 23 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

