Latestක්‍රීඩාදේශීය

පදක්කම් ඉල්ලා බල නොකර ක්‍රීඩකයින්ට පහසුකම් දෙන්න – රුමේෂ් තරංග

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පදක්කම් බලාපොරොත්තු වුවත් අන්තර්ජාතික මට්ටමේ ධාවන පථයක් හා පුහුණු උපකරණ නොමැතිව එම පදක්කම් අපේක්ෂාව සිහිනයක් පමණක් වනු ඇතැයි ආසියානු රන් පදක්කම් දිනූ රුමේෂ් තරංග පැවසීය. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂ පිරිසක් වුවද ඔවුන්ට අන්තර්ජාතික මට්ටමේ පහසුකම් නොමැතිකම විශාල ගැටලුවක් බව හෙතෙම සඳහන් කළේය.

ජපානයේ පැවති ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසිකිරීමේ අවසන් තරගයේදී මීටර් 88.55ක දුරක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දීමට සමත්වූ රුමේෂ් තරංග ඊයේ මධ්‍යම රාත්‍රියේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මාධ්‍යවේදීන් අමතා මේ බව පැවසීය. “ඇත්තටම ශ්‍රී ලංකා‍වේ ක්‍රීඩාවෙන් පදක්කම් ගේන්න කියලා ළමයින්ට බල කරනවාට වඩා වටිනවා, හොඳ ධාවන පථයක් හදලා. අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ලබාදීලා. හොඳ ක්‍රීඩංගණයක් හදලා දීලා. හොඳ පසුබිමක් හදන එක. මොකද පහසුකම් නොදී ළමයින්ට පදක්කම් ගේන්න බෑ. අපේ රටේ පහසුකම් නෑ. මේ තත්ත්වයම තිබුණොත් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව මේ වගේම තියෙයි. අපේ ක්‍රීඩකයන් දක්ෂ වුණත් ශ්‍රී ලංකාවේ හොඳ ධාවන පථයක් නෑ. බලා‍පොරොත්තු වෙනවා අදාළ බලධාරීන් ඉදිරියේදී හොඳ පහසුකම් ඇති තත්ත්වයක් ළමයින්ට නිර්මාණය කර දෙයි කියලා” යනුවෙන් රුමේෂ් තරංග පැවසීය.

“මම පොඩි කාලේ මේ ගමන ආවේ ඉතාම දුක්බර තත්ත්වයක් මැදින්. ගොඩක් බාධා තිබුණා. ඒත් ප්‍රශ්න මැද ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත්වීම සතුටට කරුණක්”

“හිතා‍ගෙන හිටි‍යේ ආසියානු වාර්තාවට යන්නයි. නමුත් ඒක කරන්න බැරි වුණා තිබුණු කාලගුණික තත්ත්වයත් එක්ක. මගේ පළමු විසි කිරීමේදී කාපට් එකේ ලිස්සලා වැටුණා. හෙල්ල විසි කිරීමට දුවගෙන එද්දී ඇස්වලට වැහි වතුර වැටෙනවා. වැස්ස මැද්දේ හෙල්ල හරියට අහුවෙන්නේත් නෑ. ගොඩක් අමාරු වුණා විසි කරන්න. ඒ තත්ත්වය මැද වුණත් රන් පදක්කමට හෙල්ල විසිකරන්න පුළුවන් බව මා දැනගෙන හිටියා. නමුත් වාර්තාව සමඟ රන් පදක්කම තමයි මට අවශ්‍ය වුණේ. පළමු වතාවට තමයි වැස්සේ තරගයකට සහභාගි වුණේ. ඒක ලොකු අත්දැකීමක් වුණා” රුමේෂ් තරංග සඳහන් කළේය.

“ජපානයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් කිලෝමීටර් 500, 600 දුර ඉඳන් මගේ තරගය බලන්න ඇවිත් හිටියා. ආසියානු ක්‍රීඩා උලෙළ පැවති විශාල ක්‍රීඩාංගණයේ තැනින් තැන ශ්‍රී ලංකා ධජය එසවී තිබෙනු දැකීම මට සතුටක් වගේම ධෛර්යයක් වුණා. ඒක මාර ශක්තියක් වුණා” රුමේෂ් සිය ස්තූතිය පළ කළේ එලෙසිනි.‍

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *