Latestදේශීයවිදේශීය

නේපාලයේ ගංවතුර – ශ්‍රී ලාංකිකයන්ට දැඩි අවවාද

නේපාලයේ ගෝර්කා දිස්ත්‍රික්කයේ උප ගංගාවකින් හටගත් හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් බුධිගන්ධකි ගංගා ධාරාවේ පහළ ප්‍රදේශවල බරපතල අනතුරුදායක තත්ත්වයක් මතුව ඇති බව කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ඊයේ (11) පෙරවරු 6:00 ට පමණ මෙම හදිසි ගංවතුර තත්ත්වය හටගෙන ඇති අතර, මේ හේතුවෙන් ගෝර්කා, ධාඩිං, නුවාකොට් සහ චිට්වාන් යන දිස්ත්‍රික්කවල හෝ බුධිගන්ධකි ගංගා නිම්න ආශ්‍රිතව දැනට රැඳී සිටින හෝ සංචාරය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස තානාපති කාර්යාලය දැඩිව දන්වා සිටියි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති ප්‍රධාන ආරක්ෂිත උපදෙස්,

ගංගා, ගං ඉවුරු, පාලම් සහ පහත් බිම් ආශ්‍රිත ප්‍රදේශවල සංචාරය කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින ලෙස සහ අතිශයින් ප්‍රවේශම් වන ලෙස.

ප්‍රදේශයේ බලධාරීන්, ආරක්ෂක අංශ සහ සංචාරක පොලිසිය නිකුත් කරන උපදෙස් හා මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදින ලෙස.

තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තෙක් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකෙන ලෙසත්.

කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඔබ රැඳී සිටින හෝටලය, සංචාරක ඒජන්සි සහ මාර්ගදේශකයින් සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන ලෙස.

කිසිදු හේතුවක් මත ගංවතුරට ලක්වූ මාර්ග, ඇළ දොළ හෝ ගංගා හරහා යාමට උත්සාහ නොකරන ලෙස.

ප්‍රාදේශීය බලධාරීන් උපදෙස් ලබා දෙන්නේ නම් වහාම උස් සහ ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස.

එමෙන්ම, නේපාලයේ ආපදාවට ලක්වූ දිස්ත්‍රික්ක වෙත සංචාරය කිරීමට සැලසුම් කර ඇති පුද්ගලයින්ට, මාර්ග තත්ත්වය ආරක්ෂිත බව සහ ගංවතුර තර්ජනය පහව ගිය බවට නිල වශයෙන් තහවුරු වන තෙක් එම සංචාර කල් දමන ලෙසත් උපදෙස් දී ඇත.

අවශ්‍ය ඕනෑම සහායක් හෝ සම්බන්ධීකරණ කටයුත්තක් සඳහා නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, පහත අංක සහ විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැකිය.

පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකය: +9779851048653

විද්‍යුත් තැපෑල: slemb.kathmandu@mfa.gov.lk

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *