මෙට්‍රෝ බසය හැප්පූ රියැදුරු රිමාන්ඩ්
කැස්බෑව – කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්රදේශයේදී මෙට්‍රෝ බස් රථයක් හිතාමතා අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී බස් රථයක රියැදුරාව කැස්බෑව අධිකරණයේ වැඩබලන මහේස්ත්රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය වෙත පෙරේදා (10) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (14) දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ, මාර්ග අංක 120 හොරණ – කොළඹ සුඛෝපභෝගී බස් රථයක රියැදුරකු ලෙස කටයුතු කළ හොරණ, පොකුණුවිට, කරුණාසේන ජයලත් මාවතේ පදිංචි පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු සෙබළකු වන ලලිත් ප්‍රසන්ත ජයසිංහ නමැත්තෙකි.
මෙට්‍රෝ බස් රථය කහතුඩුව සිට කොළඹ බලා පැමිණීමේදී කැස්බෑව හන්දියේ සිට ඊට පිටුපසින්ම ප්‍රධාන ලාම්පු දල්වමින්, නළාව ශබ්ද කරමින් හා වෙට්ටු දමමින් පැමිණ තිබූ සුඛෝභෝගී බස් රථය, මිරිස්වත්ත ප්රදේශයේදී එකවරම මෙට්‍රෝ බස් රථයට ඉස්සර කර සුඛෝපභෝගී බස් රථයේ පිටුපස කොටස මෙට්‍රෝ බස් රථයේ ඉදිරිපස දකුණු මුල්ලේ ගැටීමට සලස්වා මෙම අනතුර සිදුකර තිබූ බව පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
සිදුකළ එම අනතුරින් මෙට්‍රෝ බස් රථයේ දකුණු පැති කණ්ණාඩිය සහ ඊට පහළින් ඇති වීදුරුව කැඩී අලාභහානි වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
එමඟින් බස් රථයේ දේපළවලට සිදු වූ අලාභය රුපියල් 342,000ක් වන බවත්, සැකකාර රියැදුරු අනතුර සිදුකරන ආකාරය අසල සවිකර තිබූ සීසීටීවී (CCTV) කැමරාවක ද සටහන් වී ඇති බවත් පොලීසිය අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වීය.
අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී බස් රථයේ සැකකාර රියැදුරු පොදු දේපළ පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
මෙම රියැදුරා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී රිය ධාවනය සඳහා බලපත්රයක් නොතිබුණු බවත්, ඔහු බීමතින් සිටි බවත් හෝමාගම මූලස්ථාන පොලීසිය කියයි.
මේ වන විට කොළඹ නාගරික මාර්ග 7ක මෙට්‍රෝ බස් රථ ධාවනයට යොදවා ඇති අතර, මෙම අනතුරත් සමඟ සතියක් තුළ මෙට්‍රෝ බස් රථ 06ක් අනතුරට ලක්ව තිබේ.
මීට පෙර ද පසුගිය දින කිහිපය තුළදී අතුරුගිරිය, හෝමාගම, රාජගිරිය, මාකුඹුර හා බොරැල්ල යන ප්රදේශවලදී ද පෞද්ගලික බස් රථ සමඟ ගැටී මෙට්‍රෝ බස් රථවලට අලාභහානි සිදු වී තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

