එජාප නිවේදනයෙන් ජනතාව නොමග යවනවා – හර්ෂණ නානායක්කාර
භික්ෂූන් වහන්සේ ප්රමුඛ ආගමික නායකයන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමට අදාළව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා උපුටා දක්වමින් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ ජනතාව නොමඟ යවනසුලු කරුණු අඩංගු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
බන්ධනාගාර විධිවිධාන සම්බන්ධයෙන් කරුණු විකෘති කර මහජනතාව නොමඟ යවනසුලු ප්රකාශයක් සමාජගත කිරීමට වගකිව යුතු පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව ද හෙතෙම අවධාරණය කරයි.
භික්ෂුන් වහන්සේලා ප්රමුඛ ආගමික නායකයන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමේදී බන්ධනාගාර විධිවිධාන සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට අවශ්ය නැති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්ය නියෝගවල අනුගමනය කළ යුතු විධිවිධාන සියල්ලක්ම පැහැදිලිව සඳහන් බවත් එක්සත් ජාතික පක්ෂය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා උපුටා දක්වමින් සඳහන් කර ඇති බව ඇමැතිවරයා කියයි. මේ නිවේදනයෙන් හිතාමතාම බන්ධනාගාර නිත්ය නියෝග 550හි එක් කොටසක් පමණක් උපුටා දක්වමින් මහජනතාව නොමඟ යවනසුලු ප්රකාශයක් ජනගත කර ඇති බවත් හෙතෙම පවසයි.
එක්සත් ජාතික පක්ෂය එම නිවේදනය නිකුත් කර ඇත්තේ නිත්ය නියෝගයේ සම්පූර්ණ අන්තර්ගතය ඉදිරිපත් නොකර ඥානසාර හිමිට ලැබී ඇති සිරදඬුවම් කාලසීමාව සැලකිල්ලට නොගනිමින් බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
බන්ධනාගාර ආඥා පනතේ 550 වැනි වගන්තිය මෙසේය.
“උසාවියට ඉදිරිපත් කළ යුතු, වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතුය. ඒ වෙනුවට වරදකරුවන් කරනු ලැබීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැළපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඔවුන්ට ඉඩ දිය යුතුය. අවුරුදු තුනක හෝ ඊට අඩු හෝ සිරදඬුවම් ලද සිරකරුවන් සම්බන්ධයෙන් කළ යුත්තේ ඔවුන්ගේ පෞද්ගලික ඇඳුම් ගබඩාවෙන් ගෙන ඇඳීමට දීමය. ඔවුන්ගේ පෞද්ගලික ඇඳුම්වලින් සිරකරුට ශිෂ්ටසම්පන්න පෙනුමක් නොලැබේ නම් මුදාලන විට සිරකරුවන්ට ආණ්ඩුවේ වියදමින් දෙනු ලබන රෙදිපිළිවලින් එම අඩුපාඩුව පිරවිය යුතුය. අවුරුදු තුනකට වැඩි සිරදඬුවම් ලද සිරකරුවන් සම්බන්ධයෙන් මුදාලන සිරකරුවන්ට දීමට නියම කොට ඇත්තා වූ ද බන්ධනාගාරයේදී අයත් වන වස්ත්ර චක්රයට ගැළපෙන්නා වූද ඇඳුම් ඇඳීමට සැලැස්විය යුතුය. මේ සඳහා අවශ්ය වන රෙදිපිළි ‘ඒ‘ චක්රය හෝ ‘බී’ චක්රය යටතේ වර්ග කර තිබෙන සිරකරුවන්ට දීම සඳහා සිරකරුවන් මුදාලන විට දෙනු ලබන සම්පූර්ණ ඇඳුම් කට්ටල සෑහෙන ප්රමාණයක් සෑම බන්ධනාගාරයකම උපකරණ ගබඩාවේ සූදානමින් තැබිය යුතුය. එසේ නිකුත් කරනු ලබන රෙදිපිළිවල බන්ධනාගාර රෙදිපිළි වශයෙන් හඳුනා ගැනීමට කිසිදු සලකුණක් නොතිබිය යුතුය.”
ඒ අනුව බන්ධනාගාර නිත්ය නියෝග 550 හි මූලික කරුණු 3ක් අන්තර්ගත බව ඇමැතිවරයා සඳහන් කරයි.
1. උසාවියකට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියකට ඉදිරිපත් නොකළ යුතුය.
2. අවුරුදු තුනක හෝ ඊට අඩු හෝ සිරදඬුවම් ලද සිරකරුවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ පෞද්ගලික ඇඳුම් ඇඳ පැලඳ බන්ධනාගාරයෙන් බැහැර විය හැකිය.
3. අවුරුදු තුනකට වඩා වැඩි සිරදඬුවම් ලැබූ සිරකරුවන් බන්ධනාගාරයෙන් බැහැර වන විට, මුදාලන සිරකරුවන්ට දීමට නියම කොට ඇත්තා වූ බන්ධනාගාර වස්ත්ර චක්රයට ගැළපෙන්නා වූ ඇඳුම් ඇඳීමට සැලැස්විය යුතුය.
ඒ අනුව ඥානසාර හිමියන්ගේ බන්ධනාගාරගත කිරීම වසර හයක කාලයක් වන බැවින් උන්වහන්සේගේ පෞද්ගලික ඇඳුමෙන් (සිවුරෙන්) අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි අතර, එයට අදාළ වන්නේ ඉහතින් සඳහන් කළ 550 වගන්තියේ තුන්වැනි කොටසයි. එම වගන්තියට අනුව ප්රකාශ කරන ‘ ඒ ‘ හා ‘බී ‘ වස්ත්ර කාණ්ඩවලට භික්ෂුන් වහන්සේ විසින් අඳිනු ලබන චීවරය ඇතුළත් නොවන බව ඇමැතිවරයා අවධාරණය කරයි.
ඒ අනුව භික්ෂුන් වහන්සේ සමඟ රජය පැවැත්වූ සාකච්ඡාවලදී ඉදිරිපත් වූ යෝජනාව අනුව රැස්වූ විශේෂ කමිටුව නිත්ය නියෝග සංශෝධනය කර වසර තුනකට වැඩි සිරදඬුවමක් ලැබුණු භික්ෂුවකට ද තම නිකායේ හෝ පාර්ශ්වයේ අනුමැතිය පරිදි බන්ධනාගාරයෙන් බැහැරවීමේදී තම චීවරය පැලඳ බන්ධනාගාරයෙන් බැහැරවීමට අවස්ථාව ලබා දීම සඳහා නිර්දේශ කරනු ලැබ තිබේ. මෙම නිර්දේශයට අනුව අඳිනු ලබන වස්ත්ර කාණ්ඩයට එය ඇතුළු කිරීම මඟින් බන්ධනාගාර නිත්ය නියෝගයන්ට අදාළව මෙතෙක් පැවති අඩුපාඩුව සම්පූර්ණ කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැහැදිලි කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

