Latestදේශීය

රේගු නිළධාරීන්ට ස්තූතියි

2026 වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබාදී තිබූ රුපියල් බිලියන 2,207ක ආදායම් ඉලක්කය අභිබවා ඔක්තෝබර් 13 වන විට රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස් කිරීමට සමත් වීම වෙනුවෙන් සියලු රේගු නිලධාරීන්ට සහ සහායක සේවා නිලධාරීන්ට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා විශේෂ ස්තූතිය පිරිනමා තිබේ.

ඒ ඊයේ (19) ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමිනි.

2025 වසරේදී ශ්‍රී ලංකා රේගුවට නියම කර තිබූ රුපියල් බිලියන 2,115ක ආදායම් ඉලක්කය සම්පූර්ණ කර තිබුණේ එම වසරේ නොවැම්බර් 11 වන අතර 2025 වසරට සාපේක්ෂව මෙවර ආදායම් ඉලක්කය ඊට පෙර සම්පූර්ණ කිරීමට රේගුව සමත් වී තිබේ.

මෙහිදී රේගු දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි. සහකාර රේගු අධිකාරි තනතුරු 200ක්, රේගු පරීක්ෂක තනතුරු 121ක් සහ රේගු නියාමක තනතුරු 51ක් සඳහා බඳවා ගැනීමට මේ වන විට අවසර ලැබී ඇති බව එහිදී අනාවරණය විය.

වසර හයක් පුරා පැවති රේගු නිලධාරීන්ගේ උසස්වීම් ගැටලුව 2027 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන් විසඳීමට ද අපේක්ෂා කෙරේ.

රැස්වීම ඇමතූ අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා, රාජ්‍ය වියදම් පියවා ගැනීමට අවශ්‍ය ආදායම රැස් කිරීම රජයක පැවැත්ම සඳහා අතිශය වැදගත් බව පෙන්වා දුන්නේය. 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ රජයේ වියදම් සඳහා අවශ්‍ය රුපියල් නොමැති වීම බව ද ඒ මහතා සිහිපත් කළේය.

ආදායම් රැස් කිරීමේ කාර්යය සාර්ථකව ඉටු කරන අතරම නිලධාරීන්ගේ සමාජීය හා සංස්කෘතික ජීවිතය ද සුරක්ෂිත කිරීම රජයේ අරමුණක් බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් නිලධාරීන් ඉදිරිපත් කරන යෝජනා බැහැර නොකරන බව ද ප්‍රකාශ කළේය.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම තුළින් රජයේ ණය සහ පොලී ගෙවීම් සඳහා වන බර අඩු කර ගැනීමටත්, රටේ සංවර්ධන කටයුතු සඳහා අරමුදල් වෙන් කිරීමටත් හැකි වන බවයි. මෙට්‍රෝ බස් සේවය වැනි පොදු පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ද ආදායම් රැස් කරන ආයතනවල කාර්යක්ෂමතාව වැදගත් වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආදායම් රැස් කරන ආයතන ඩිජිටල්කරණය කිරීම රජයේ අරමුණ බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ තුළින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් වංචා හා දූෂණ අවම කිරීමටත් හැකි වන බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගම මහතා ඇතුළු රේගු අධ්‍යක්ෂවරු සහ අතිරේක අධ්‍යක්ෂවරු එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *