Latestදේශීය

ඇසින් දුටු සාක්ෂිය හමුවේ චම්පික හිරවෙයි

රාජගිරිය ප්‍රදේශයේදී 2016 වසරේදී සිදු වූ රිය අනතුරකින් තරුණයකු බරපතළ තුවාල ලබා අබාධිත තත්වයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට එරෙහිව පවතින නඩුවේදී ඊයේ (19) වැදගත් සාක්ෂියක් අනාවරණය වී තිබේ.

සිද්ධිය වන අවස්ථාවේදී අදාළ අනතුර ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වන දීර්ඝ කාලයක් විදෙස්ගතව සිටි සිද්ධික් මොහොමඩ් සූෆායික් නමැත්තා ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටිමින් සාක්ෂි ලබා ධී ඇත.

සාක්ෂිකරු අධිකරණය හමුවේ පැවසූ තොරතුරු

චම්පික රණවක ගමන් ගත් මෝටර් රථයේ ගැටුණු සන්දීප් සම්පත් නමැති තරුණයා පදවාගෙන ගිය යතුරුපැදියට මීටර් පනහක් පමණ පිටුපසින් තමන් පැමිණි බව සාක්ෂිකරු සඳහන් කර ඇතත්. අනතුරින් පසු අදාළ සුඛෝපභෝගී ජීප් රථය සරණ පාර ඔස්සේ බොරැල්ල දෙසට ධාවනය වූවත්, තමන්ට මාර්ගය හරස් කර එය නවතා ගැනීමට හැකි වූ බවත් සාක්ෂිකරු සඳහන් කර ඇත.

ජීප් රථය නැවැත්වූ අවස්ථාවේදී, තමත් සමඟ සිටි අනෙක් පුද්ගලයා ජීප් රථයේ ඉදිරිපස දොර විවෘත කර රියැදුරු අසුනේ සිටි පුද්ගලයාට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ බවත් එහිදී රියැදුරු අසුනේ සිටි තැනැත්තා, “ග.හ.න්න එපා.. මම ඇමති චම්පික රණවක” යැයි පැවසූ බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ තහවුරු කර තිබේ.

නඩුවේ පසුබිම සහ චෝදනා

2016 වසරේ පෙබරවාරි 28 වැනි දින රාජගිරිය ජනාධිපති විදුහල ආසන්න මංසන්ධියේදී, W.P.K.T-7545 දරන සුඛෝපභෝගී රිය අපරික්ෂාකාරී ලෙස පදවා අනතුරක් සිදුකොට නොනවත්වා ධාවනය කිරීම සහ සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයාට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් 1951 අංක 14 දරන මෝටර් රථවාහන ආඥා පනතේ 16 1 (1) සහ 161 (1), 214 යටතේ හිටපු ඇමැතිට එරෙහිව නඩුව පවරා ඇත.

අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම, අධික වේගයෙන් රථ ධාවනය, නිසි සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් රිය ධාවනය නොකිරීම, මාර්ගය භාවිත කරන වෙනත් තැනැත්තන් ගැන සැලකිලිමත් නොවීම සහ රිය අනතුර පිළිබඳ තොරතුරු ආසන්න පොලිසියට දැනුම් නොදීම ඇතුළු අධිචෝදනා 04ක් මීට ඇතුළත් වේ.

රාජගිරිය රිය අනතුරක් සිදු කිරීම සහ එහි සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු ඇමති පාඨලී චම්පික රණවකට අමතරව ඔහුගේ රියදුරා ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර හා වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිවද නඩු පවරා තිබේ.

එවකට ඇමතිවරයෙකුව සිටි චම්පික රණවක අනතුර සිදුවූ අවස්ථාවේදී අදාළ තරුණයා මහමඟ දමා පළායාම සම්බන්ධයෙන් එකල දැවැන්ත ජනතා විරෝධයක් එල්ල වී තිබිණි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *