ආන්ඩුවට ඕනෑ විධියට විපක්ෂය ප්රශ්ණ අහන්නේ නැහැ – සජිත් ප්රේමදාස
ආණ්ඩුවට හෝ සභානායකවරයාට අවශ්ය ලෙස විපක්ෂය ප්රශ්න නොඅසන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පසුගිය දා (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
2027 අය-වැයට පෙර 2026 ප්රගතිය ඉදිරිපත් කරන ලෙසත්, ඒවාට උත්තර නොමැතිව 2027 අය-වැය කතාව කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.
2026 අය-වැය ප්රගතිය ඉදිරිපත් නොකර 2027ට අය-වැයක් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් 27 (2) යටතේ ප්රශ්න කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
තවත් සති 3කින් 2027 අය-වැය ඉදිරිපත් වන බවත්, අය-වැය යෝජනා සඳහා ප්රතිපාදන වෙන් කිරීමෙන් පමණක් අපේක්ෂිත සංවර්ධන හා ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගත නොහැකි අතර, යෝජනා ඵලදායී ලෙස ක්රියාත්මක කරමින් මහජන මුදල්වලට සරිලන ප්රතිඵල අත්කර ගැනීම රජයේ වගකීමක් බවත් ඒ මහතා අවධාරණය කළේය.
2027 අය-වැය නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කරන නිසා 2026 අය-වැය යෝජනාවලට අදාළ ප්රගතිය ඉදිරිපත් කළ යුතු බවත්, 2026 සැප්තැම්බර් 30 දින වන විට එක් එක් අමාත්යාංශ යටතේ ප්රතිපාදන අතුරින් වැය කර ඇති මුදල, වෙන් කර ඇති මුදල සහ ඉතිරි මුදලත්, මේ කාලයේ අදාළ වියදම්වලට සාපේක්ෂව අත්කර ගෙන ඇති මුල්ය හා භෞතික ප්රගතිය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
2026 වසර තුළ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ගෙන ඇති වැඩසටහන් හා ප්රතිපත්තිමය ක්රියාමාර්ග සේම, 2026 වසරේ ඍජු විදේශ ආයෝජන ඉලක්කයත්, සැප්තැම්බර් 30 වන විට සැබෑ ලෙසම ලැබුණු ඍජු විදේශ ආයෝජන ප්රමාණයත්, මෙහි ප්රධාන ආර්ථික අංශ හා මූලාශ්ර රටවල් ද ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා පැවසීය.
රජය සතු ව්යාපාරික ආයතන සංඛ්යාව හා 2026 වසරේ පළමු කාර්තු 3 තුළ එම ආයතන අත්කර ගත් ලාභ හෝ අලාභත්, අලාභ ලබන ආයතන සඳහා අලාභ පියවා ගැනීමට හා මූල්ය කාර්ය සාධනය වැඩි කර ගැනීමට ගෙන ඇති පියවරත්, එම ආයතන සඳහා 2027 වසරේදී රජයේ අය-වැයෙන් ප්රතිපාදන වෙන් කරන්නේ නම් එකී ප්රතිපාදනවල ඇස්තමේන්තුගත ප්රමාණ හා අරමුණු කල් නොදමා ඉදිරිපත් කරන ලෙසද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

