නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල විවෘත වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු දායකත්වයෙන් නවීකරණය කරන ලද මාලඹේ පිහිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල ඊයේ (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට එක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, භාවිතයට නොගන්නා සහ ඌණ උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා උපරිම ඵලදායීතාවකින් යොදාගැනීමේ රජයේ වැඩපිළිවෙළට මෙම පියවර කදිම නිදසුනක් වන බවයි.
ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිවීමෙන් අනතුරුව මෙම නව පරිපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව, 2017 වසරේදී සිදු වූ පවරා ගැනීමෙන් පසු වසර අටක් පුරා පැවති තාවකාලික පාලන ක්‍රමය වෙනුවට නව දෙමුහුන් (Hybrid) මෙහෙයුම් රාමුවක් හඳුන්වා දී ඇත. එම ක්‍රමවේදය යටතේ රෝහලේ අයිතිය මහා භාණ්ඩාගාරයට සියයට 100ක හිමිකාරීත්වයක් ඇති සමාගමක් යටතට පවරා ඇති අතර, එහි දෛනික මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා තිබේ.
ගුවන් හමුදාවේ විශේෂඥතාව, වෘත්තීය ප්රමිතීන් සහ කාර්යක්ෂම පරිපාලන හැකියාවන් උපයෝගී කරගනිමින් ගුවන් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ට මෙන්ම සාමාන්‍ය මහජනතාවට ද උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම මෙම නව වැඩපිළිවෙළේ අරමුණයි. රෝහලේ මෙහෙයුම් කටයුතු ප්‍රධාන විධායක නිලධාරී එයාර් කොමදෝරු නීලුකා අබේසේකර මහත්මියගේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිය සාමාජිකයන් වෙනුවෙන්ම වෙන්වූ රෝහලක අවශ්‍යතාව දිගු කලක සිට පැවති බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙම නව පියවර මඟින් ගුවන් හමුදාවට සුවිශේෂී වූ රෝහලක් හිමිවීම වැදගත් ජයග්‍රහණයක් බව ද පැවසීය.
ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ ගත් මෙම තීරණය හරහා ලක්ෂ 50කට ආසන්න ජනගහනයක් වෙසෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාවට, විශේෂයෙන් කඩුවෙල, අතුරුගිරිය සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල ජනතාවට පවතින තෘතීයික මට්ටමේ සෞඛ්‍ය සේවා හිඟයට විසඳුමක් සැපයීමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සමරු ඵලකය නිරාවරණය කර රෝහල නිල වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව සම්භාවනීය අමුත්තෝ රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූහ.
මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, දිවංගත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ බිරිඳ ස්වර්ණමාලි ප්‍රනාන්දු මහත්මිය, හිටපු ගුවන් හමුදාපතිවරුන්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා ඇතුළු ගුවන් හමුදා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

