ඉරානයට එරෙහිව කළ යුද්ධයේ වියදම ගල්ෆ් රටවල් ගෙවිය යුතුයි – ට්‍රම්ප් කියයි
ඉරානය සමඟ පැවති යුද්ධයේදී සිය හමුදාවේ ආරක්ෂාව ලැබූ රටවල් යුද්ධය සඳහා වැය වූ සියලු මුදල් අමෙරිකාවට ආපසු ගෙවිය යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඉරාන ප්‍රහාරවලින් සවුදි අරාබිය ඇතුළු සියලු මැදපෙරදිග රටවල් ආරක්ෂා කළ බවත්, ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් ද සැලකිය යුතු කාර්යභාරයක් සිදු කළ බවත් සීබීඑස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වේ.
අමෙරිකාව නොසිටින්නට අද වන විට ඊශ්‍රායලයක් ඉතිරි නොවන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඊශ්‍රායලයෙන් ද වන්දි ලබාගන්නා බව ප්‍රකාශ කර තිබේ. ඉරාන යුද්ධයට වැය කළ මුදල අමෙරිකානු ජනතාවගෙන් අය කර ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නැති බවත්, යුද්ධයේදී අමෙරිකාවේ රැකවරණය ලැබූ රටවල් එම මුදල ගෙවීම අනිවාර්ය බවත් ඔහුගේ අදහස වී තිබේ.
ඉරාන හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමේදී මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි බවත්, හෝමූස් මුහුදේ යාත්‍රා කළ නෞකාවලට ආරක්ෂාව ලබා දුන් බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ. පෙන්ටගනයේ තොරතුරුවලට අනුව ඉරාන යුද්ධය සඳහා අමෙරිකානු හමුදාවට ඩොලර් බිලියන 47ක් වැය වී ඇතැයි වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

