අල්ලාගත් බිලියන 1.5ක මත්ද්‍රව්‍ය තොගය පිළිබද විමර්ශන දිගටම
දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව තුළ රුපියල් බිලියන එකහමාරකට (කෝටි 150කට) අධික වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය තොගයක් තිබී සොයාගෙන තිබේ.
පසුගිය 11 වැනිදා දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ‘යසිරු පුතා’ නැමැති මෙම යාත්‍රාව සමඟ එහි සිටි ධීවරයින් 05 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇත. අදාළ යාත්‍රාව සහ සැකකරුවන් ඊයේ (13) උදෑසන ගාල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් යාත්‍රාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවේදී එහි හෙරොයින් කිලෝග්‍රෑම් 60කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් තිබෙන බව තහවුරු කරගෙන තිබේ.
යාත්‍රාව ගාල්ල වරායට රැගෙන ඒමෙන් අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර සඳහන් කළේ, සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත බර කිලෝග්‍රෑම් 110කට අධික වන බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

