Latestදේශීය

දැරියගේ සහ බිළිඳාගේ අනාගතය වෙනුවෙන් රජයේ මැදිහත්වීම් කඩිනමින් කරනවා – සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරියගේ සහ අලුත උපන් බිළිඳාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය මෙන්ම අනාගත යහපැවැත්ම තහවුරු කිරීම සඳහා රජය විසින් ගත යුතු සියලු මැදිහත්වීම් කඩිනමින් සහ අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව සඳහන් කළේ නකල්ස් ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

වයස අවුරුදු 15ක පමණ දැරියක අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් පසු බිළිඳෙකු සමඟ සොයාගැනීමේ පුවත තමන්ට ද මවක ලෙස දැඩි කම්පනයක් ඇති කළ බව අමාත්‍යවරිය සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, එම දැරියගේ සහ අලුත උපන් බිළිඳාගේ ජීවිත මේ වන විට ආරක්ෂිතව පැවතීම සහනයට කරුණක් බව ද ඇය පෙන්වා දෙයි.

මෙම සිදුවීම හුදෙකලා සිදුවීමක් ලෙස නොසලකන බවත්, වත්මන් ආර්ථික, සමාජීය හා දේශපාලනික සංකීර්ණතා හමුවේ දරුවන් විවිධ ආකාරයෙන් අනාරක්ෂිත තත්ත්වයන්ට මුහුණ දෙන බවත් අමාත්‍යවරියගේ ප්‍රකාශයේ සඳහන් වේ.

විශේෂයෙන්ම දෙමව්පියන් සහ දරුවන් අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය සම්බන්ධතාව හා සන්නිවේදනය ක්‍රමයෙන් දුර්වල වීම මෙවැනි සිදුවීම්වලට බලපාන සාධකයක් බව ද ඇය පෙන්වා දී තිබේ. දරුවන්ට වඩාත් ආරක්ෂිත විය යුතු සමීපතම පරිසරය තුළම ඔවුන් අනාරක්ෂිත වීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව ද අමාත්‍යවරිය සඳහන් කරයි.

කවර තත්ත්වයක් යටතේ වුවද තම දෙමව්පියන් සමීපයේ තමන් සුරක්ෂිත බවට විශ්වාසයක් දරුවන් තුළ ගොඩනැගීම දෙමව්පියන්ගේ වගකීමක් බව අවධාරණය කළ ඇය, පවුල තුළ ආරක්ෂිත පරිසරයක් සහ විවෘත සංවාදයක් ඇති කිරීමෙන් මෙවැනි කම්පනකාරී සිදුවීම් අවම කරගත හැකි බව ද ප්‍රකාශ කර ඇත.

එමෙන්ම අවදානමට හෝ අනාරක්ෂිතභාවයට පත්වූවන් සමඟ කටයුතු කරන රාජ්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්ව ජනතාවට සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ විශ්වාසවන්ත ආයතන බවට පත්වීමේ අවශ්‍යතාව ද ඇය අවධාරණය කර තිබේ.

මේ අතර, අනාරක්ෂිත තත්ත්වයට පත්වන දරුවන් වෙනුවෙන් විධිමත් විසඳුමක් සැලසීමේ අරමුණින් 2027 වසරේ සිට නව “විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක්” ක්‍රියාත්මක කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සූදානම් වෙමින් සිටී. ඒ සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන වෙන්කර ගැනීම ඇතුළු කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම සමස්ත සමාජයේම වගකීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරිය, රටේ දරුවන් සම්බන්ධයෙන් වඩාත් සංවේදීව සහ අවධානයෙන් කටයුතු කරන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *