Latestදේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගොඩගන්න පස් අවුරුදු සැලැස්මක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා මිලදී ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන්ට විසඳුම් සෙවීම පිළිබඳව යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

දැනට ගුවන් යානා 23කින් සමන්විත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා සංචිතය ප්‍රමාණවත් නොවීම සහ එම ගුවන් යානාවල සාමාන්‍ය වයස වසර 12ක් පමණ වීම හේතුවෙන් තාක්ෂණික දෝෂ හා ගුවන් ගමන් ප්‍රමාදයන් ඇති වන බව මෙහිදී සාකච්ඡා වී තිබේ. එක් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් හේතුවක් මත ප්‍රමාදයක් ඇති වූ විට විකල්ප යානා යෙදවීමේ සීමා හේතුවෙන් සමස්ත ගුවන් ගමන් ජාලයටම බලපෑම් එල්ල වන බව ද අනාවරණය වී ඇත.

ගුවන් යානා මිලදී ගැනීම සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අසාර්ථක වීම සහ ඒ ආශ්‍රිත දීර්ඝ ප්‍රමාදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.

මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ගුවන් යානා සහ ඒ ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවත්, එය ගැසට් කිරීම සඳහා කටයුතු යොදා ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ. එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු සෘජුව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ප්‍රසම්පාදන අංශයක් ද පිහිටුවා තිබේ.

නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ ගුවන් යානා සංචිතය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි ජූනි මාසය වන විට නව පටු බඳ සහිත ගුවන් යානයක් සහ පුළුල් බඳ සහිත ගුවන් යානා දෙකක් සංචිතයට එක්කර ගැනීමට අපේක්ෂා කරන බව ද මෙහිදී අනාවරණය වී ඇත.

2029 වසර වන විට ගුවන් යානා සංචිතය අවම වශයෙන් යානා 29ක් දක්වා ඉහළ නැංවීම පස් අවුරුදු සැලැස්මේ ඉලක්කය බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් පැරණි බැංකු ණය සහ බැඳුම්කර ණය පවරා ගැනීම ඇතුළු පියවර ගෙන ඇති බව ද මෙහිදී පැහැදිලි කර තිබේ. ගුවන් යානා ලීසිං ගාස්තු අඩු කර ගැනීම, ඉන්ධන පිරිවැය පාලනය කිරීම සහ වාණිජ උපායමාර්ග ඔස්සේ ආදායම් ඉහළ නැංවීම පිළිබඳව ද අවධානය යොමු වී ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ පවතින තරගකාරීත්වය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් හා ආදායම් කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව ද සාකච්ඡා වී තිබේ.

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටුව මඟින් නව ආයෝජකයන් ලබා ගැනීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කිරීම හෝ රජය යටතේ පවත්වාගෙන යමින් පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම ඇතුළු විකල්ප සලකා බලන බව ද සඳහන් වී ඇත.

ඒ අනුව, ඉදිරි වසර දෙක තුන ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ගත යුතු පියවර ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, නලින් බණ්ඩාර ජයමහ, රවීන්ද්‍ර බණ්ඩාර, මංජුල සුරවීර ආරච්චි, චතුර ගලප්පත්ති, ධනුෂ්ක රංගනාත්, ජගත් විතාන, ශාන්ත පද්ම කුමාර සුබසිංහ සහ නීතිඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *