Latestදේශීය

ඩයනා වරද පිලිගනී

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා හතෙන් එක් චෝදනාවකට හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ ඊයේ (26) වරද පිළිගත්තාය.

2015 ජූලි 17 වැනිදා සිට 2016 ජූලි 16 වැනිදා දක්වා කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීම සම්බන්ධයෙන් වූ චෝදනාවට මෙලෙස තමා වරදකාරිය බව ඇය පිළිගත්තාය.

එම චෝදනාව විවෘත අධිකරණයේදී කියවා දීමෙන් අනතුරුව විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා සිය සේවාදායිකාව එම චෝදනාවට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව විත්තිකූඩුවේ සිටි ඩයනා ගමගේ මහත්මිය ද අදාළ චෝදනාවට තමන් වරදකාරිය බව පිළිගන්නා බව අධිකරණයට ප්‍රකාශ කළාය. ඒ අනුව එම චෝදනාවට අදාළ දඬුවම් නියම කිරීම ලබන ජනවාරි 14 වැනිදාට කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ විවිධ කාලසීමාවන්හිදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටීම ඇතුළු චෝදනා හතක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. ඉන් එක් චෝදනාවකට මෙලෙස වරද පිළිගෙන ඇති අතර ඉතිරි චෝදනා හයකට අදාළව සාක්ෂි විභාගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී තවදුරටත් පැවැත්වේ.

2016 ජූලි 14 වැනිදා සිට 2017 ජූලි 16 වැනිදා දක්වාත්, 2018 ජූලි 17 වැනිදා සිට 2019 ජූලි 16 වැනිදා දක්වාත්, 2020 ජූලි 16 වැනිදා සිට නොවැම්බර් 1 වැනිදා දක්වාත් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීම සම්බන්ධයෙන් ද ඇයට චෝදනා එල්ල වී ඇත.

එසේම 2014 ජනවාරි 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීමේදී ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද ඇයට චෝදනා ගොනු කර තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම චෝදනා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඩයනා ගමගේ මහත්මියගේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැන්පත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා මීට පෙර නියෝග කර තිබිණි.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මහත්මිය මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර නඩු දිනයකදී අධිකරණයට දැනුම් දී තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ අකිලා දල්පදාදු මහත්මිය පෙනී සිටි අතර විත්තිකාරිය වෙනුවෙන් නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා පෙනී සිටියේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *