Latestදේශීය

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 72ක් මෙරටට

විදේශ රටවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව මේ වන විට අපරාධකරුවන් 72 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

රටවල් 12ක සිටින වරෙන්තුකරුවන් 113 දෙනෙකුට රතු වරෙන්තු නිකුත් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව අද (27) රටම එකට මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පොලිස්පතිවරයා පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශේෂ සංචාරයක නිරත වූ බවත්, එම සබඳතා මත ඩුබායිහි සිටි සැකකරුවෙකු මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර, මෙම වසරේ මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 2,982කට අධික ප්‍රමාණයක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,758කට අධික ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 11,328කට අධික ප්‍රමාණයක් සහ කොකේන් කිලෝග්‍රෑම් 303කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

සමාජය තුළ සංසරණය වන මත් පෙති සහ කරල් සම්බන්ධයෙන් ද පොලීසිය විශේෂ අවධානයක් යොමු කර ඇති බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, කුඩා දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කර ගැනීමේ අරමුණින් එම මත් කරල් සමාජගත කරන බව පෙන්වා දුන්නේය.

ඒ අනුව, මත් කරල් ලක්ෂ 45කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය විනාශ කිරීමට ද කටයුතු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තවද, 2025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කළ විශේෂ වැටලීම් මාලාව යටතේ ඊයේ (26) දක්වා වයස අවුරුදු 21 දක්වා වූ තරුණයන් 11,737 දෙනෙකු සහ වයස අවුරුදු 18ත් 21ත් අතර තරුණියන් 233 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *