දේශීය

COVID 19 වසංගතයෙන් රට වැසියන් බේරාගැනීමට කටයුතු කරන බව ජනාධිපතිි කියයි.

COVID 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී එතුමා මේ අදහස් පළ කළේය. PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් සමාජය තුළ වසංගතය පැතිරයාම අවම මට්ටමේ තබා ගැනීමට පියවර ගන්නැයි මෙහිදී ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට දැන්වීය. ආසාදිතයන් හඳුනාගත් රාජාංගනය අතුළු සෙසු ස්ථානවල PCR පරීක්ෂණ වැඩිකරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා වසංගතය පිළිබඳ අලුත්ම තොරතුරු සහ රජය ගෙන යන ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කරන ලෙස නිලධාරීන්ට දැන්වීය.කොවිඩ් වසංගත මර්දනයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග අද රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවට ලක් විය. කොවිඩ් මර්දන ව්‍යාපාරය සාර්ථකව රට පුරා ක්‍රියාත්මක කිරීමට දිවා රෑ නොබලා අඛණ්ඩව දායක වන සියලුදෙනා තමා ඉතා ඉහළින් අගයන බව ද ජනාධිපතිතුමා පැවසීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී . ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්ම මහත්මීහූ සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ විශේෂඥ වෛද්‍යවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?