දේශීය

20 ප්‍රජාතන්ත්‍ර විරෝධියි – අමරපුර රාමඤ්ඤ මහා සංඝ සභාව

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අක්‍රීය කරන්නැයි ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් ආණ්ඩුවට දන්වා සිටී.

එම සංඝ සභාව විසින් නිවේදනයක් මඟින් සිය විරෝධතාවය ප්‍රකාශ කර ඇති අතර එම නිවේදනයේ සඳහන් වී ඇත්තේ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ බවයි.

එහෙයින් විසිවන ව්‍යවස්ථාව වහාම අක්‍රීය කර ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය සුරැකෙන ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට අවශ්‍ය කටයුතු ආරම්භ කළයුතු බව සංඝ සභාව එම නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහලේඛාධිකාරී පූජ්‍ය අත්තංගනේ ශාසන රතන හිමි පවසා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අඩුපාඩුකම් සකස් කරගෙන ඉදිරි වැඩ කටයුතු සිදු කිරීමට හැකියාව තිබුණු නමුත් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුද්ගල කේන්ද්‍රීයව නිර්මාණය වූවක් බවයි.

එමෙන්ම විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතියේ ආධිපත්‍ය බිඳවැටෙන බවත් මේ වන විට රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් වසංගත තත්වයෙන් රට මුදවාගෙන පසුව සියලු පක්ෂවල එකමුතුවෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවත් එහි දී රතන හිමි විසින් වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?