විදේශීය

මියන්මාරයේ පාලනය හමුදාව අතට

අවුන් සාන් සුකී ඇතුළු නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලනය මියන්මාර හමුදාව යටතට ගෙන ඇති බව වාර්තා වේ.

මීට පැය කිහිපයකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර තිබේ.

මියන්මාර රජය සහ හමුදාව අතර පසුගිය මැතිවරණයෙන් පසුව මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වීම හේතුවෙන්  මෙම තත්ත්වය හටගෙන ඇති අතර මියන්මාර හමුදාව සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට බලය පැවරීමට ක්‍රියා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

මෙම තත්ත්වය හමුවේ මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා හා ඇතැම් දුරකතන සේවාවන්හි ද අවහිරතා පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් අවුන් සාන් සූචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා  ජයග්‍රහණයක් ලැබූ අතර මෙම ජයග්‍රහණය වංචනිකව සිදු වූවක් බව එරට හමුදාව චෝදනා කර තිබේ.

මැතිවරණයෙන් පසුව මියන්මාර පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතව තිබියදී, අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙලෙස හමුදා භාරයට ගෙන ඇත.

මියෙන්මාරය තුළ 2011 වසර තෙක් ක්‍රියාත්මක වී ඇත්තේ හමුදා පාලනයකි.

වසර පනහකට අධික කාලයක් පැවති හමුදා පාලනය අවසන් වීමෙන් පසුව එරට පැවති දෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණය හැඳින්විය හැකිිිය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?