දේශීය

මෙරට විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මුල් අදියර හෙට විවෘත කෙරේ

රෝහලක් තුළ ඉදිකෙරෙන මෙරට විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානය වන මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු අදියර සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් නොවැම්බර් 11 වනදා විවෘත කෙරේ.

මෙය මෙරට සෞඛ්‍ය පද්ධතියේ පිළිකා රෝගී ප්‍රතිකාර සම්බන්ධයෙන් මහරගම අපේක්ෂා රෝහලට පමණක් දෙවැනි වන අතර මෙම ඒකකයද ඉහළම නවීන තාක්ෂණික උපකරණ වලින් සමන්විතය.

මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයේ ඉදිවෙන මෙය තට්ටු 12කින් සමන්විතය. මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකරීම් කටයුතු මේ වන විට සම්පුර්ණයෙන් අවසන් කර ඇති අතර දෙවැනි අදියරේ ඉදිකරීම් කටයුතු 33% ක් මේ වන විට අවසන් කර තිබේ. ඇදන් 600ක ධාරිතාවයකින් ඉදි වෙන මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 1945ක් රජය මගින් වැය කරනු ලැබේ.

මහනුවර ජාතික රෝහල හා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මේ වන විට ක්‍රියාත්මක හා ඉදිරියට සිදු කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්වය සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී (09) පැවති විශේෂ සාකච්චාවකදී මේ බව අනාවරණය විය.

තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස තට්ටු 9ක ගොඩනැගිල්ලක් මහනුවර රෝහල් පරීශ්‍රය තුල ඉදි කරනු ලබන අතර මේ සඳහා රුපියල් මිලියන 1700ක් රජය වියදම් කරනු ලබයි. එහි 35 % ක ඉදිකිරීම් අවසන් කර ඇති අතර එම ව්‍යාපෘතිය මගින් තැලසීමියාවෙන් පෙලෙන දරුවන්ට ප්‍රතිකාර කිරීමටත් ඇට මිදුළු බද්ධ කිරීම වැනි ප්‍රතිකාර කිරීමටත් හැකිවනු ඇත.

රුපියල් මිලියන 1700ක මුදලක් වැය කර මහනුවර රෝහල් පරීශ්‍රයේ ඉදිකරනු ලබන හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතුද මේ වන විට 20% ක් අවසන් කර තිබේ. තට්ටු 7කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ දැඩි සත්කාර ඒකක 3ක්, ශල්‍යාගාර 3ක් ,ස්නායු ශල්‍ය ප්‍රතිකාර ඒකකයක් ,හදිසි ප්‍රතිකාර ඒකක හා තවත් අංශ රැසකින් සමන්විතය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ තෙවැනි මහලේ ඉදි කිරීම් කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී‍.

මෙම රෝහල් වල සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට අමාත්‍ය මණ්ඩලයය දැනුවත් කිරීම සඳහා සටහන් සකස් කර කඩිනමින් තමා වෙත ලබා දෙන ලෙසටද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර ඉදිරියේදී පළාත් මට්ටමින් මෙවැනි ප්‍රගති සමාලෝචන සාකච්ජා ක්‍රියාත්මක කරන ලෙසටද හෙතෙම උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වි. වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න, ප්‍රධාන මුල්‍ය නිලධාරී හේමන්ත ස්වර්ණතිලක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?