Latestදේශීය

සජබ විරෝධතාවයට වාරණ පිට වාරණ

“මේ සාපය දැන් ඇති“ තේමාව යටතේ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් අද (16) කොළඹ දී පැවැත්වීමට සමගි ජනබලවේගය සැලසුම් කර තිබේ.

එම විරෝධතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පැවැත්විය යුතු බවට නියම කරන්නැයි පොලීස් ස්ථාන කිහිපයකින් කළ ඉල්ලීම්වලට අධිකරණයේ අවසරය හිමි වූ අතර ඇතැම් පොලිස් ස්ථාන මගින් කළ ඉල්ලීම් අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර ඇත.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ දරිද්‍රතාවයට, ජනතාව මුහුණපාන අනෙකුත් ගැටලුවලට සහ ආණ්ඩුවේ දුෂණයට එරෙහිව මෙම ජන උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම විරෝධතාව සඳහා ඉඩ ලබා නොදෙන බවයි.

ඔහු පවසා ඇත්තේ සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂකයින් කොළඹට පැමිණියහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් සැලසුම් කළ පරිදි එම විරෝධතාව පවත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතා කියා සිටියේ ය.

මේ අතර නිසි බලධාරියෙකුගේ අවසරය ලබාගැනීමකින් තොරව අද සිට ලබන 30 වන දා දක්වා මහජන ඒකරාශිවීම්, රැස්වීම් සහ උත්සව තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් කර තිබේ.

මේ අතර, සෞඛ්‍ය නීතී උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?