Latestදේශීය

මහජන කවුන්සිලය ගමන අරඹයි

සිහින මියගිය සමාජයක බලාපොරොත්තව යන තේමාව යටතේ මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය ඊයේ (01) ජනගත කරනු ලැබුවා. කොළඹ පදනම් ආයතනයේ පැවති මෙම එළිදැක්වීමේ උළෙලට රට පුරා දැනටමත් ආරම්භකර ඇති මහජන කවුන්සිල් 10ක සාමාජිකයින් මෙන්ම වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටියා. මීට අමතරව මහජන කවුන්සිල් ආරම්භ කරන්නට බලාපොරොත්තුවෙන් සිටින දිස්ත්‍රික් හී නියෝජිතයින් ද මෙම උළෙලට එක්ව සිටීම විශේෂත්වයක්.

ගෝල්ෆේස් අරගලයේ සිට මහජන කවුන්සිලය දක්වා ගමන් මග

ගෝල්ෆේස් අරගලයේ සිට මහජන කවුන්ලය පිහිටුවීම දක්වා ගමන්මග පිළිබදව අදහස් දක්වමින් ජීවත්න පීරිස් පියතුමා, රජිනිකාන්ත් රාජ්කුමාර්, මෙලනි ගුණතිලක භාෂා ත්‍රිත්වයෙන් සභාව ආමන්ත්‍රණය කළා. එම අදහස්  සැකෙවින්,

ගෝල්ෆේස් අරගලය යනු ලාංකේය ඉතිහාසයේ ජනතාව තුළින් බිහිවූ පළමු අරගලය නෙමෙයි. ජනතාවට එල්ල වූ පීඩනයන් දරාගත නොහැකිව ජනතාව නිරන්තරයෙන් අරගල කළා, දින 2000කට වැඩි සංඛ්‍යාවක් උතුරේ දමිළ ජනතාව රාජ්‍යයේ මිලේච්ඡ මර්ධනයට එරෙහිව අඛන්ඩව අරගලයක නිරථව සිටිනවා.  ගුරු අරගලය, ගොවි අරගලය, වතුකම්කරු අරගලය, ශිෂ්‍ය අරගලය, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ අරගලය, පාරිසරික යුක්තිය උදෙසා වූ අරගලය වැනි නව ලිබරල් ආර්ථිකයට  ධනේෂ්වර ක්‍රමයට එරෙහි අරගලයේ දිගුවක් ලෙසයි ගාලුමුවදොර අරගලය බිහිවුනේ.

බහුවිධභාවය තුළයි මේ අරගලය අර්ථවත් වුනේ.  ජනතාවගේ පොදුභාවය තුළ ජාති ආගම් කුළ බේද බිද දැම්මා. ජනතාවට අවශ්‍යවුනේ ක්‍රම වෙනසක්. සමාජ ආර්ථික දේශපාලනික පරිවර්ථනයක්. නමුත් අපි අපේක්ෂා කළ ඒ වෙනස අපට අත්කර ගැනීමට හැකිවුනේ නැහැ. ඒ නිසා  අරගලය අවසන් නැහැ. ජූලි 05  ගාළුමුවදොර අරගලයේ ක්‍රියාකාරි සැලැස්ම ලෙසත් අගෝස්තු 09 වෙනිදා ගාලුමුවදොර අරගලකරුවන් සංවිධානය කළ නුගේගොඩ රැලියේ දීත් කියාසිටියේ උපායමාර්ගයන් තෝරමින් අරගලය ඉදිරියට ගෙනයන බවයි.

මූළික කරුණු 07කින් යුත් එම සැලැස්මේ එක් අරමුණක් වූයේ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම. අදට දින 73ක් වෙනවා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අනීතිකව අත්අඩංගුවට ගෙන. ඒ වගේම අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි අත්අඩංගුවට ගෙන. අද ඒ දෙන්නම ඉන්න ඕනා මේ අවස්ථාවේ. අපි කියනවා මර්ධනයේ සියලුම නීති අකුලාගැනීම සදහා අපි අරගලයේ අඛන්ඩව ක්‍රියාත්මක වෙනවා.

02.ආර්ථික යුක්තිය පතා කරන අරගලය. දරාගන්න බැරි අර්ථිකය ඉදිරියේ ජනතාව නැගී සිටිය යුතුයි. තම ආර්ථික යුක්තිය ජනතාව හිමිකර ගත යුතුයි. ඒ වෙනුවෙන් අපි අරගල කරනවා.

03. මහජන කවුන්සිලය.  ජනතාවගේ බලය තව තවත් ශක්තිමත් කරන, නව ජන සම්මුතියක් තුළින් දේශපාලන සාක්ශරතාවය ශක්තිමත් වන, ජනතා බලය ජනතාවට හිමිවන මහජන කවුන්සිලය ගොඩනැගීම තුළින් ජන අභිලාෂයන් මුදුන්පමුණුවා ගැනීමට අපි අරගල කරනවා.

04. නව මැතිවරණයක් 05. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම 06. නව ව්‍යවස්ථාවක්  07. ක්‍රම වෙනස

මහජන කවුන්සිලය කියන්නේ ඒ ගෝල්ෆේස් අරගලයේ අඛණ්ඩත්වය. ඉදිරි පියවර. රට පුරා ඈත ගම් නියම් ගම් නියෝජනය වන, ජාති කුළ ආගම් බේදයෙන් නොබෙදුනු, අපේ බලය අපට හිමිවන සුවිශේෂී වැඩපිළිවෙලක්. ඒ හරහා අපි සියලුදෙනා ශක්තිමත් වෙමු. අපි මේ අරගලය ජයග්‍රහණය කරමු.

ළහිරු වීරසේකර, ජෝසප් ස්ටාලින් සහ නීතිඥ ස්වස්තිකා ආරුලිංගම් විසින් මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරයේ පරමාර්ථ ඉදිරිපත් කරනු ලැබුවා.

පරමාර්ථ

අරගලයේ අභිලාෂයන් ඉටු කරගැනීම සඳහා බලය ජනතාවට හිමිවන නව දේශපාලන ව්‍යූහයක් ශ්‍රී ලංකාව තුල ගොඩ නැගීම මහජන කවුන්සිලයේ මුලික පරමාර්ථය වේ. මෙය මෑත මතු වූ ජනතා අරගලයේ අඛණ්ඩතාවය සනිටුහන් කිරීමකි.

තවදුරටත් පවතින සංස්ථාපිතය විසින් අරගලයේ ජන අභිලාෂ ඉටු නොකරනවා පමණක් නොව ඒවා දමනය කෙරෙන බවද අවබෝධ කරගැනීමෙන් නව දේශපාලන-මහජන අවකාශයක් ගොඩ නැගීම උදෙසා මහජන කවුන්සිලයේ අවශ්‍යතාවය අපි යෝජනා කර සිටිමු.  

මෙම යෝජනාව විසින්, 

* රාජ්‍ය පාලනයේ තීරණ ගැනීම වෙත සක්‍රීය ජනතා සහභාගීත්වය තහවුරු කෙරෙන,

* වාර්ගික, ලිංගික , ප්‍රාදේශීය සුවිශේෂී හා ආන්තික ප්‍රජාවන්ගේ මෙන්ම විශේෂයෙන්ම වැඩකරන ජනතාවගේ ප්‍රජතාත්ත්‍රීය අයිතීන් නියෝජනය කරන,

* ආර්ථික, දේශපාලන සමාජීය හා සංස්කෘතික ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා වන,

* රටේ ජාතික-ජනතා සම්පත් හා මහජන දේපළවල ස්වෛරීත්ව බලය තහවුරු කරන,

 * පාරිසරික යුක්තිය සහ ජෛව ගෝලීය විවිධත්වය සුරක්ෂිත වූ,

 * නව ජනතා සම්මුතියක් ගොඩ නැගීම වෙනුවෙන් සෘජු ජනතා සහභාගිත්වය අවධාරණය කෙරෙන,

* නව ජනතාවාදී ව්‍යවස්ථාවක් හා සමානාත්මතාවාදී ආර්ථික ක්‍රමයක් ස්ථාපිත කරලන,

නව දේශපාලන බලයක් හා පාලන ක්‍රමයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාව හා බහු විධ දායකත්වය ජනතාව වෙත විවෘත කෙරෙයි.

සාකච්ඡා මණ්ඩපය

මෙම උළෙලේදී රටපුරා ක්‍රියාත්මක මහජන කවුන්සිල් හී නියෝජිතයින් සමග පීටර් ඩී අල්මේදා සහ වීරසිංහම් විසින් සාකච්ඡා මණ්ඩපයක් ගොඩනගන ලද අතර එහිදී එක් එක් දිස්ත්‍රික් කවුන්සිල් ගොඩනැගුනු ආකාරය, මහජන කවුන්සිල් ජනතාව අතරට වඩා සක්‍රීයව ගෙන යන්නේ කෙසේද? දැනට ක්‍රියාත්මක වන අනෙකුත් ප්‍රාදේශීය සභා, නගර සභා සහ පලාත් සභා සහ මෙම මහජන කවුන්සිල් අතර වෙනසක් තිබෙනවා ද? යන කරුණු සාකච්ඡා කරන ලදි.

ඉදිරි ක්‍රියාමාර්ග

මහජන කවුන්සිලය සදහා ව්‍යාපාර‌යේ ඉදිරි ක්‍රියාමාර්ග ජනගත කිරීම මෙහිදී සිදුවිය. ඒ අනුව ප්‍රධාන කරුණු 08ක් හරහා ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්විය.

1. මහජන කවුන්සිලය පිළිබද නැවුම් අදහස ලංකේය පොදු ජන සමාජය තුළ ව්‍යාප්ත කිරීම

      * එහිදී මහජන කවුන්සිලයේ පරමාර්ථය හා සංයුතිය පැහැදිළි කෙරෙන ග්‍රන්ථයක් සම්පාදනය කිරීම ඇතුළු විවිධ ප්‍රකාශන,සම්මන්ත්‍රණ,රැස්වීම්,සාකච්චා සභා හා වැඩමුළු ආදිය පැවැත්වීම.

2. මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය හා ප්‍රාදේශීය මහජන කවුන්සිල අතර සම්බන්ධීකරණය,සහයෝගීතාවය හා අන්තර් පෝෂණය අඛණ්ඩව පවත්වා ගැනිම. ඒ සදහා විධිමත් සංවිධාන වැඩපිළිවෙලක් ගොඩ නැගීම

3. මහජන කවුන්සිල සම්බන්ද දැනුම් හුවමාරුව,බුද්ධිමය දායකත්වය හා මතවාදී අරගලය පවත්වා ගැනීම.

        * ඊට සමාන්තරව විකල්ප ශිෂ්ටාචාර අරුතකින් කලා-සංස්කෘතික හා බුද්ධිමය පුනරුදයක් සදහා වන නව මහජන අවකාශයක් නිර්මාණය කිරීම

4. ජනතා අරගල ක්ෂේත්‍රයන් පුළුල් කිරීම,ගැඹුරු කිරීම හා බලගැන්වීම සහ තත්කාලීන ජාතික දේශපාලන අවශ්‍යතා හා අර්බුදයන් වෙත සක්‍රීය මැදිහත් වීම.

        * විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුළු රාජ්‍ය මර්දනයට එරෙහි ක්‍රියාමාර්ග

5. ජනතා පරමාධිපත්‍යය සැබවින්ම මූර්තිමත් කෙරෙන හා ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් තහවුරු කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා වන ව්‍යවස්ථා සම්පාදක කොමිසමක් පත් කිරීම

6. ජනතාවගේ ආර්ථික යුක්තිය අවධාරණය කෙරෙන, විශේෂයෙන්ම පීඩිත ජනතාවගේ ඉල්ලීම් හා අදහස් මත පදනම් වූ නව ආර්ථික යෝජනාවලියක් සැකසීම

7.  සමාජයීය,දේශපාලන,සංස්කෘතික ක්ෂේත්‍රයන්ට අදාළ වූ දෛනික මාතෘකා,තත්වයන් හා සිදුවීම් පිළිබද සාකච්චා සභාවක් පවත්වා ගැනීම. ඊට අදාළ අපගේ ස්ථාවර හා යෝජනා පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම

8. මහජන කවුන්සිලයේ ව්‍යූහය සකස් කිරීම.

ආර්ථික යුක්ති කොමිසම

පොදු ජන සමාජයට විශේෂයෙන්ම ආර්ථික යුක්තිය හිමි නොවන බහුතර ජනතාවට  ආර්ථික යුක්තිය හිමිවන ආර්ථික යුක්ති කොමිසම සදහා වූ සංකල්පීය රාමුව ජෝතිරාජ් ජෙගන්, චින්තක රාජපක්ෂ සහ අනූප නන්දුල විසින් සභාවට ඉදිරිපත් කළ අතර ආර්ථික යුක්ති කොමිසමේ ආරම්භක සාමාජිකත්ව ලෙස මහාචාර්ය සුමනසිරි ලියනගේ, ආර්ථික විශේෂඥ ධනූෂ ගිහාන් පතිරණ, කතිකාචාර්ය කල්ප රාජපක්ෂ, ගොවි ප්‍රජා නායක ටෙරන්ස් ගාමිණී, ක්ෂුද්‍රමූළ්‍ය ණය , විකල්ප බැංකු ක්‍රම සහ ආර්ථික ක්‍රියාකාරිනී අමාලි වෙදගෙදර , විකල්ප ග්‍රාමීය ආර්ථිකයක් වෙනුවෙන් කටයුතු කරන කේ පී සෝමලතා යන මහත්ම මහත්මීන්ගේ නම් යෝජනා විය.

නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කොමිසම

ජනතා බලය ජනතාව සතුවන ජනතා පරමාධිපත්‍ය බලය සැබෑ ලෙස ප්‍රකාශයට පත්වන නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කොමිසමක් සදහා වූ යෝජනාවලිය මෙරින් නිලාශිනී, නීතිඥ රාමලිංගම් රාජන් සහ  නීතිඥ නුවන් බෝපගේ විසින් සභාවට ඉදිරිපත් කළ අතර ව්‍යවස්ථා සම්පාදක කොමිසමේ ආරම්භක සාමාජිකයින් ලෙස මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, කතිකාචාර්ය සුමිත් චාමින්ද, මහාචාර්ය සුමති සිවමෝහන්, නීතිඥ නුවන් බෝපගේ, සිනමාවේදී ප්‍රසන්න විතානගේ, නීතිඥ රාමලිංගම් රන්ජන්, නීතිඥ හිජාස් හිස්බුල්ලා, නීතිඥ ශ්‍රීනාත් පෙරේරා යන මහත්ම මහත්මීන් යෝජනා විය.

ජාත්‍යන්තර සුබපැතුම්

ගෝල්ෆේස් අරගලයට ද සක්‍රීයව දායකත්වයන් සැපයූ ඉන්දියානු දේශපාලන ක්‍රියාකාරිනී මායා ජෝන් මහත්මිය විසින් මෙම අවස්ථාවට සුබ පැතුම් එක් කරන ලදි. එම සුබ පැතුම හරහා ඇය පවසන්නේ,

අරගලයේ මහජන කවුන්සිලයට මම විප්ලවීය සුභ පැතුම් එකතු කරනවා. අරගලය විසින් පෙන්වා දී තිබෙනවා ලංකාවේ රාජ්‍ය ජනතාව වෙනුවෙන් නොවන බවත් එය බලවත් ධනවත්  වරපරසාදිත පිරිස් වෙනුවෙන් බවත්. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ජනතාව පෙනවා දී තිබෙනවා ඔවුන් ප්‍රතිසංස්කරණවාදීන් නොව ඇත්ත වශයෙන්ම ඉතිහාසය තනන්නන් බව. කවුද පාලනය කරන්නේ, කොහොමද එම පාලනය අරන් යන්නේ කියන එකට අවධානය යොමු වෙලා තියෙනවා. මෙම ප්‍රශ්නවලට උත්තරය රඳා පවතින්නේ  කඩා වැටිලා තියෙන ආර්ථිකය පාලනය කරන්නේ කොහොමද කියන එක මත. ආර්ථිකය ජනතාව වෙනුවෙන්ද? නැතිනම් ධනවතුන් වෙනුවෙන් ද?  එවැනි ආර්ථිකයක රැඩිකල් දේශපාලන ක්‍රමයක් ඉල්ලා සිටිනවා. පවතින ප්‍රජාතන්ත්‍රවාදී තත්වය තුල ජනතාව තමන්ගේ පාලනය අත් හැරලා දාලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පෙන්වා දී තිබෙනවා පවතින ප්‍රජතන්ත්‍රවාදය විසින් ජනතාව පාවා දෙන බව. මහජන කවුන්සිලය වැනි ව්‍යුහයන් ජනතාව නගා සිටුවනවා. මහජන කවුන්සිලය විසින්  ජනතාව පාලනය කරගන්න ජනතා සහභාගීත්වයට ජනතාවට මග කියනවා.

අයිස්ලන්තයේ, අල්තිංගි අයිලන්ඩ් ව්‍යාපාරයේ සාමාජික ස්මාරි මැකාති මහතා සුබ පැතුම් එක් කරමින් පැවසුවේ,

2008 අයිස්ලන්තයේ ආර්ථිකය ඉතාම නරක ලෙස කඩා වැටුනා .මේ අර්බුදයට පස්සේ අපි ජාතියක් ලෙස හිතන්න පටන් ගත්තා අපි කව්ද, අපිට මොනවාද ඕනේ කියලා. 2009 ජනතාව අහම්බෙන් තෝරාගත්තා පුරවැසි සභාවකට. 2010 නැවතත් ජනතාව තොරගත්තා සහ ව්‍යවස්ථාවක් ගැන සාකච්චා කරන්න ගත්තා. 950 ක පිරිසක් එකතු වෙලා ඒකෙන් 25 දෙනෙක් එකතු වෙලා අලුත් ව්‍යවස්ථාවක් හැදුවා. ඒක ක්‍රියාත්මක කළා නම් දැන් අපිට අලුත් ව්‍යවස්ථාවක් තියෙනවා. නමුත් පසුගිය අවුරුදු 12 ට බලයට ආපු අය ඒක කලේ නැහැ. අලුත් ව්‍යවස්ථාවක් ගැන හිතන ශ්‍රී ලංකික ඔබට මම ආරධනා කරනවා, අපෙන් හොඳ දේවල් සහ වැරදුන තැන් ගැන ඉගෙන ගන්න කියලා. අලුතෙන් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතන මේ මොහොතේ, අලුතෙන් එය අභ්‍යාස කරන්න තීරණය කළ මේ අවස්ථාවේ අලුත් ව්‍යවස්ථාවක් ඇති කරගන්න. මම ඔබට සුභ පතනවා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු ටෙරන්ස් රොද්‍රිගො විසින් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම විශේෂයෙන්ම ලබන 09 වනදා රටපුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අරගල ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සභාව දැනුවත් කරන ලදි. එම අදහස් දැක්වීමේ ඉංග්‍රීසි සහ දමිළ පරිවර්ථනයන් ප්‍රසාද් වැලිකුඹුර සහ මව්ලවි ෆර්හාන් විසින් සභාවට ඉදිරිපත් කරන ලදි.

අජිත් කුමාරසිරි, ජෙහාන් අප්පුහාමි ප්‍රමුඛ නෝ ඩීල් සංගීත කන්ඩායම, මැලර් රාජ් ක්‍රිස්ටි රාජන් කුමාර්, දිනූපා කෝදාගොඩ සහ නදික වැලිගොඩපොල විසින් සිංහල සහ දමිළ ගීත වලින් සභාව රසගන්වන ලදි.

මාධ්‍ය ඒකකය

මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?