Latestදේශීය

ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයක

ශ්‍රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදයක සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය  නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කරනවා.

 එම සංවිධානයේ මානූෂීය කටයුතු පිළිබඳව සම්බන්ධීකරණ කාර්යාලය පෙන්වා දී තිබෙන්නේ මෙරට මිලියන 3.4ක ජනතාවකට අවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු අත්‍යඅවශ්‍ය සාධක සඳහා ආධාර අවශ්‍ය වී ඇති බවයි.

පසුගිය ජුනි මාසයේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලංකාව තුළ පවතින ආහාර අර්බුදයේ බලපෑම සහ ඖෂධ හිඟයේ බලපෑම සමනය කිරීම සඳහා ඒකාබද්ධ සැලැස්මක් ක්‍රියාත්මක කර තිබුණු අතර ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව මෙම මානූෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැලැස්ම සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇත.

 වඩාත් අවදානමකට ලක්විය හැකි මිලියනයකට අධික ජනතාවක් සඳහා මානූෂීය ආධාර ලබාදීම ආරම්භ කර ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.මෙම ආධාර වැඩසටහන වසර අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා ඩොලර් මිලියන 150කට ආසන්න මුදලක්  රැස්කිරීමට සැලසුම් කර තිබෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා.

තවද එම සංවිධානය පෙන්වා දෙන්නේ ලෝක බැංකු වාර්තාවලට අනුව ජාතික දරිද්‍රතා අනුපාතය සියයට 25.6 දක්වා ඉහළ ගොස් ඇති අතර ඔක්තෝබර් මාසයේදී සියයට 85.6ක ආහාර උද්ධමනයක් පැවති බවයි.

මෙම අවධානමට පිළියමක් ලෙස ආහාර අනාරක්ෂිත පුද්ගලයින් මිලියන 2.4ක්  සඳහා ආහාර ආධාර ලබාදීමටත් මිලියන 1.5ක් වන ගොවීන් සඳහා පොහොර ඇතුළු ආධාර කඩිනමින් ලබාදීමටත් සැලසුම් කර ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වාදෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?