Latestදේශීය

කුෂාන් අත්අඩංගුවට

පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඕමානයට රැකියාවට යන ශ්‍රී ලාංකික කාන්තාවන් මුදලට විකිණීම අපයෝජනය ඇතුළු චෝදනා රැසකට ලක්ව සිටි තානාපති නිලධාරී ‘කුෂාන් සර්‘ අද අලුයම අත්අඩංගුවට පත්ව තිබේ.
 ඕමානයේ මස්කට් නුවර සිට අද අලුයම ගුවන් යානයකින් ඔහු එන බවට ලද තොරතුරු මත කටුනායක ගුවන් තොටුපළ රැඳී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ප්‍රශ්න කිරීමට ලක්කරමින් සිටී.
වැඩ තහනමට ලක්ව සිටින මෙම නිලධාරියාගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ  ගමන් බලපත්‍රයද තහනම් කොට තිබුණි.

පසුගිය සිකුරාදා ඔහු මෙරටට පැමිණීමට ගුවන් ප්‍රවේශ පත්‍ර පවා වෙන් කරගෙන සිටියද ඔහු එදින නියමිත පරිදි මෙරටට පැමිණීමට කටයුතු කළේ නැත. කාන්තාවන්ට ලිංගික අතවර කිරීම, කාන්තාවන් වහල් සේවයට විකිණීම , සහතික වංචා සහ මූල්‍ය වංචාවලට සම්බනධද බවට චෝදනා පවතින මෙම නිලධාරියා අත්අඩංගුවට පත්වීමෙන් වැලකී වෙනත් රටකට පළා යාවිද යන්න පිළිබඳව ඇති වුණු බරපතල සැකය මත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්කර පොලිසිය හරහා රතු වරෙන්තුවක් ලබා ගැනීමටද පොලිසිය කටයතු කර තිබූ අතර මේ බව සැළවීමෙන් පසු ඔහු ශ්‍රි ලංකාවට පැමිණීමට තීරණය කර තිබේ.

ඔහු ගැන ඕමානයේ සිට මෙරටට පැමිණි කාන්තාවක් මෙසේ සඳහන් කර තිබුණි.
“මම රැවටීමකට ලක්වුණා ඒජන්සියට. මට අසනීප වුණාට පස්සේ මට ලංකාවට එන්න ඕනේ වුණාම, මේ කොටේෂන් එක දුන්නේ එම්බසියේ කුෂාන් කියන පුද්ගලයා. ලක්ෂ 15ක කොටේෂන් එකක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඔප්පු කරන්න සාක්ෂි. කුෂාන් පිළිගන්නේ නැති වුණාට සාරා නංගි, දිලූපා අක්කා ඔක්කෝම කියනවානේ වෙන දේ. අපි කියන්නේ CIDයට මේ තොරතුරු හොයන්න. දැනුත් මේ විදියම තමා. තානාපති කාර්යාලයේ දැනුත් 130ක් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි. Safe House එක ඇතුළේ හිරකරගෙන තමා ඉන්නේ දොරවල් වහගෙන. අපි පාන්දර 3යි Safe House එකෙන් පැනලා පාර දිගේ ඇවිදගෙන යනකොට.”

Job Permit නැතිව ශ්‍රී ලාංකික කාන්තාවන් රවටා සංචාරක වීසා හරහා ඔවුන් මැදපෙරදිග රටවල්වලට යවා ගණිකා මඩම්වලට ගාල් කරන බව හෙලිව ඇත. ඕමානයේ තිබෙන ගණිකා නිවාස 17ක සිටින සිංහල හා ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණියන් ගැනත් එම රටේම safe house එකක හෙවත් ආරක්ෂක නිවස්නයක රඳවාගෙන සිටින යන එන මං නැති ලාංකික ගෘහ සේවිකාවන් 105 දෙනකු මුහුණ දී සිටින භයානක ඛේදවාචකය ගැනත් විස්තර හෙළිව තිබේ.
මේ අසරණ කාන්තාවන්ට කෑම බීම පවා නැත. කුෂාන්  එම තරුණියන් ලිංගිකව අපහරණය කර ඇති බවත් කායික ප්‍රයෝජන ගැනීම සඳහා ලංකාවට නොඑවා රඳවා තබා ඇති බවත් වාර්තා විය.

ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයට අවිධිමත් ලෙස සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා මීට අවුරුදු දෙකකට පෙර ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය එක්ව ඕමාන බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් යුතුව සංක්‍රමණ ක්‍රියා පිළිවෙතක් හඳුන්වාදෙන ලදී.

මෙරට කාන්තාවන් ගණිකා සේවය සඳහා යොදාගත්, වැඩ තහනම් කර ඇති ඕමාන තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ඊ. කුෂාන් පිළිබඳ පළමු පැමිණිල්ල ලැබී ඇත්තේ, මෙම වසරේ පෙබරවාරි මාසයේ දී බව කෝපා කමිටුවේ දී අනාවරණ වී තිබුණි.විදේශ රැකියා අමාත්‍යාංශයේ නිලධාරීන් 22දා පැවති එම කමිටුවට කැඳවා තිබූ අතර, විගණකාධිපති දෙපාර්තමේන්තුව ද හෙළි කළේ, අදාළ ලේකම්වරයාට විරුද්ධව තවත් වැරදි ක්‍රියා රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබුණ ද බලධාරීන් අවශ්‍ය පියවර නිසි කාලයේ දී ගෙන නොතිබූ බව යි.

ඕමානය ඇතුළු රටවලට ගිය ශ්‍රි ලාංකික  කාන්තාවන් සම්බන්ධයෙන් මේ වනවිට නිර්මාණය වී ඇති තත්ත්වය පිළිබඳව  මනූෂ නානායක්කාර ඇමතිවරයා සඳහන් කළේ මෙම නිලධාරියා සම්බන්ධනේ තවමත් පවතින්නේ චෝදනාවක් පමණක් බවත් ඒ අනුව ඔහුගේ වැඩ තහනම් කොට මෙරටට පමිණි පසු අත්ඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව  විමර්ශන සිදු කරන බවත් ය.

එහිද ඔහු තවදුරටත් සඳහන් කලේ මාධ්‍ය මගින්   මෙම අර්බුදය පිලබිඳව ප්‍රචාරය වන්නට කලින් විදේශ සේවා නියුක්ති කාර්යංශය ඊට අදාල පියවර ගත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මේ පිලිබඳව වැඩිදුර විමර්ශනයට  ඕමානය බලා ගියේ ඒ අනුව බවත්ය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් කාන්තාවන් ඕමානයේ සහ අබුඩා හී රැකියා සඳහා යෙදවූ ප්‍රධාන සැකකරුවෙකු සහ ඔහුගේ මෙරට උප නියෝජිතයා මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

මෙම ජාවාරම පිළිබඳව ඩුබායි හී කලක් සේවයේ නිරතව සිටි නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා ඒ පිළිබඳ කරුණු අනාවරණ කළේය.

එහිදී ඔහු පැවසුවේ මෙරට තරුණියන් වැඩි වශයෙන් මෙම ජාවාරමට හසුවන බවත් ඔවුන් රුපියල් ලක්ෂ 10ත් 20ත් අතර මුදකට අලෙවි කිරීමට මෙම ජාවාරම් කරුවන් කටයුතු කරන බවත්ය.

මෙය සිදුකරන්නේ තානාපති කාර්යාලවල සිටින ඇතැම් දූෂිත නිලධාරින් සහ එජන්සිකරුවන් එකතුව බව ඔහු පවසා තිබේ.

මෙම සිදුවීම නිසා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේ ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවය සහ පිරිසිදු කිරීමේ සේවාවන්වලට යොමුවන කාන්තාවන්ගේ ස්වයං ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවන බවය.

මෙවන් පසුබිමක විදේශසේවා නියුක්ති කාර්යාංශය යටතේ ඇති කොන්සියුලර් අංශයේ සිදුවන අක්‍රමිකතා පිළිබඳ සොයාබලන ලෙස ඉල්ලමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය.

ගොසිප් ලංකා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?