Latestදේශීය

දූෂිත රාජපක්ෂවරු අන්තයටම පරාජය කළ යුතුයි – චම්පික රණවක

මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් රටේ සංවර්ධනය ගමේ සංවර්ධනය විනාශ කළ දුෂිත රාජපක්ෂවරුන් හා ඔවුන් වටා සිටින ව්‍යාපාර ජාලය පලවා හැරීම ඉතා බලගතු දේශපාලන පාඩමක් වශයෙන් අරමුණු කරගත යුතු බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ අනුව ස්වශක්තියෙන් වැඩ කරන පළාත් පාලන ආයතන ඉදිරියට ගොඩ නැගීම උදෙසා මෙවර මැතිවරණය මගින් දුෂිත රාජපක්ෂවරුන් 10% දක්වා අඩු කිරීමට සියලු දේශපාලන පක්ෂ වගබලා ගතයුතු බව චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ 43 සේනාංකය මගින් මෙවර මැතිවරණය සඳහා සන්ධාන ගතවී තරඟ කිරීමේ අරමුණ පිළිබඳව පැහැදිලි කිරීම සඳහා පවත්වන ලද මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමිනි.

ඒ සඳහා 43 සේනාංකයේ සභාපති කරූ පරණවිතාන මහතා සහ එම සංවිධානයේ මුදල් ලේකම් ඉංජිනේරු සුමේද රත්නායක මහතාද සම්බන්ධ විය.

එහිදී මෙවර පළාත් පාලන මැතිවරණය ගමේ, වීදියේ දේශපාලන බලය පස්, කළුගල්, වැලි මත රඳවාගෙන සිටි දුෂිත ව්‍යාපාර කල්ලිය පලවාහැරීමට අරමුණු කරගත යුතු බවත් එසේ බිහිවන පළාත් පාලන ආයතන තවදුරටත් මධ්‍යම ආණ්ඩුව මත යැපෙන ආයතන නොව ස්වයං ශක්තියෙන් නැගීසිටින ආයතන බවත් පත්විය යුතු බවත් ඒ සඳහා 43 සේනාංකය ලෙස සහය දැක්වීම සඳහා මෙවර මැතිවරණයට තරඟ කරන බව පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“රට බංකොලොත් කළ රාජපක්ෂවරු ඒ එක්කම ඒගොල්ලොත් එක්ක එකට ගැට ගැහිච්ච නිලධාරි පන්තිය, දූෂිත ව්‍යාපාරික ජාලය ජනමතයෙන් පරාජය කිරීමට මෙයින් අවස්ථාවක් ලැබෙනවා. අවිහිංසාවාදී ක්‍රියාමාර්ග වලින් පලවාහරින ලද රාජපක්ෂ පාලනය පස්ස දොරෙන් ඇවිල්ලා පළාත් පාලන ආයතන තාමත් පාලනය කරනවා. ඒ වගේම මේකේ තව වැදගත් පැත්තක් තියෙනවා. ඒක තමයි පළාත් පාලන ආයතන වලට, අයවැයේ තියෙන සල්ලි ලබාදීමේ හැකියාවක් නැහැ. එම නිසා, ස්වයං ශක්ති ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක් බිහි කරගන්න. තමන්ගේම ආදායම් වලින් ජනතාවට සේවය කරන තැනක් බවට පරිවර්තනය වෙන්න. අපි මේකට පැහැදිලි අත්දැකීමක් රටට දීලා තියෙනවා. අපේ අමාත්‍යංශ ක්‍රියාවලිය තුළ අපි පෙන්නලා තියෙනවා මේ ස්වයං ශක්තිය කොහොමද ගොඩනගන්නේ කියලා. ඇත්තටම අපිට තව අවුරුදු 3ක් තිබුණා නම් ප්‍රශ්න විසඳනවා. අපි මූලික ප්‍රශ්න දෙකම විසඳුවා. ඒ කළේ නාගරික සංවර්ධනයේ ගස් හිටවලා, පේමන්ට් හදලා, ජොගින් ට් රැක් හදලා නෙවෙයි. විධිමත් ආකාරයට ඒ කටයුත්ත කරලා. ඒ වගේම අපි හදපු නිවාස ටික අපි විධිමත්ව ලබා දුන්නා. ඒ නිවාස ටික නොඑන්න ඔය ගිනිගත්ත, මන්ත්‍රීතුමාලට නිවාස ලබාදෙන නිවාසයක් නැහැ. එදා ලංකා විදුලිබල මණ්ඩලය කෝටි 4500 පාඩුයි කිව්වා 2015 පටන් ගන්නකොට. හැබැයි කෝටි 2000 ලාභෙකට අපි ගෙනිච්චා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කෝටි 6700 ප්‍රතිලාභ ජනතාවට දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සහගහන බදු නැතිකළා.

අපි 43 සේනාංකය හදනකොට අපේ බලාපොරොත්තුව තිබුණේ රටේ වෘත්තීය මට්ටමේ වැඩ කරලා සමාජය ඉදිරියට ගෙනල්ලා අධ්‍යාපනයෙන් මතු වෙච්ච පිරිසක් එක්ක පවුල් බලයයි, පාදඩ සල්ලියි රජකරන දේශපාලනය තුළ නව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරන්න. ඒ අනුව අපි කරන්න ගිය දේශපාලනික නොවන සමාජ ව්‍යාපාරය, දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කරන්න. නමුත් මේ මැතිවරණයේ කාලසටහනත් එක්ක අපිට ඒක කරන්න බැහැ. නීත්‍යනුකුල ගැටලුත් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණයෙන් පසුව මේ රටේ අධ්‍යාපනයෙන් මතුවෙච්ච වෘත්තීය මට්ටමේ පිරිස්, වැඩ කරලා පුරුදු පිරිස් ඒ වගේම වැඩක් පෙන්නපු කට්ටිය ගේ එකමුතුවකින් මේ රටේ නව දේශපාලන පරිවර්තනයක් ඇතිකරන දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියේදී කරළියට ගේන්න. ජනතා විමුක්ති පෙරමුණ එක්කත් අපි සාකච්ඡා කළා. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ සන්ධානයක් නෙමෙයි. ඒක ජනතා විමුක්ති පෙරමුණ විතරයි පක්ෂෙකට ඉන්නේ. අනිත් අය පුද්ගලයෝ හැටියටයි එකතු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හිතන්නෑ ඒක සාර්ථක සන්ධානයක් කියලා. සමගි ජන බලවේගයත් ඒගොල්ලන්ගෙ අරමුණ තියෙන්නේ තමන්ගෙ තනි ශක්තිය පෙන්නන ක්‍රියාවලියක් හැටියට, පුළුල් සන්ධානයකට නොයා. ඒ නිසා අපි නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරු සමඟ විවෘත සාකච්ඡාවක් කළා. ඒ විවෘත සාකච්ඡාවෙන් අපිට එළඹෙන්න බැරි වුණා පුළුල් සන්ධානයකට. ඒ නිසා අපිට අවශ්‍ය ප්‍රබල සන්ධානයක් ගොඩ නැගීම සඳහා රාජපක්ෂවරුන් නොවන පිරිසක් සහිත නව ලංකා නිදහස් පක්ෂය සමඟ මෙම මැතිවරණයට සන්ධාන ගතවී තරග කිරීමට තීරණයකට එළඹුණා.”

එමෙන්ම මේ සඳහා සම්බන්ධ වූ 43 සේනාංක සභාපති කරූ පරණවිතාන මහතා පවසා සිටියේ ලංකාවට ගැලපෙන් දේශපාලන ආදර්ශයක් සකස් කිරීම මෙවර පළාත් පාලන මැතිවරණයේ අරමුණ බවයි. එමෙන්ම ඒ සඳහා ප්‍රාදේශීය වශයෙන් බලය අල්ලාගෙන සිටින පොහොට්ටු දේශපාලනය පලවා හරිය යුතු බවයි.

“අපේ මේ මැතිවරණයේ ස්ථාවරය තමයි උප්පරවැට්ටි යොදලා කල්දැමීමට සංවිධානයක් හැටියට අපි එකඟ වන්නේ නෑ. දෙවැනි කාරණය තමයි මේ මැතිවරණයේදී අපේ සංවිධානය අවුරුදු දෙකක් තිස්සේ කියමින් සිටපු ලංකාවට ගැලපෙන දේශපාලන ආදර්ශ සකස් කර ගැනීමේ තවත් එක අවස්ථාවක් හැටියට අපි සලකනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වන්නේ මේ රට විනාශයට පත් කරපු, බංකොලොත් කරපු, ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතියක් ඇති කරපු, මිනිස්සු දැන් පරාද කරවීම. හොරකම්, මැරකම්, දුරාචාර නැති, ප්‍රයෝගිකව හිතන ජනතා නායකයෝ, මේ පළාත් ආයතන වලට පත් කරලා මේ බිඳ වැටිච්ච දේශය නැවත ගොඩනගන්න පුළුවන් පළාත් මට්ටමේ මහජන බලයක් ගොඩනැගිය යුතුයි කියන දැක්ම අපට තිබෙනවා.”

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න හමුවේ පාඨලී චම්පික රණවක මහතා පිළිතුරු ලබාදෙන ලදී.

ප්‍රශ්නය: මැතිවරණය කල් දමන පනතක් සම්මත කරගැනීමට යනවා

පිළිතුර: න්‍යාය පත්‍රයේ සඳහන් වෙලා තියෙනවා මැතිවරණ වලට අපේක්ෂකයින් වියදම් කරන වියදම් පාලනය කිරීම සඳහා වුණ පනතක්. මම හිතන්නේ ඒක ප්‍රගතිශීලි පනතක්. මොකද මේ රටේ පාදඩ සල්ලි වලට, මාධ්‍ය කරන ප්‍රතිචාර වලට බොහෝ විට දේශපාලනයේ ඉහළ ඡන්ද ඉහළ මනාප හම්බුවෙනවා. ඒ අනුව ඇත්තට වැඩ කරන්න පුළුවන් මිනිස්සු අවංක මිනිස්සු මනාප ලැයිස්තුවේ පස්සට යනවා. ප්‍රශ්නේ ඒක පාර්ලිමේන්තුව අනුමත කළත් අදාළ මැතිවරණ ගණනාවක් තියෙනවා. මැතිවරණය දිනය තාම ප්‍රකාශයට පත්කරලා නැහැ. මේ පනතේ සාරය හැටියට, ඇත්තටම පළාත් පාලන පනත වෙනස් නො කොට මේ පළාත් පාලන මැතිවරණය කරගෙන යන්න බෑ මේක අනුමත උනොත්. ඉතින් ඒක තමයි ඇවිල්ලා තියෙන ගැටලුව. ඊයේ වාර්තා වුණා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කිරීම මසකින් කල් ගිය බව. අද ඒක නැවත සාකච්ඡාවට ගන්න බව වාර්තා වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ කාර්ය සාධනය සඳහා තිබෙන බිස්නස් කමිටුවෙයි, පක්ෂ නායක කමිටුවෙයි. යම් හෙයකින් හෙට මේක අනුමත වුණොත් ඒකෙන් පැහැදිලි ප්‍රශ්නයක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එනවා. මොකද ඒ පනතට අනුකූලව නැවත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගෙන නිසා.

ප්‍රශ්නය: ඊයේ අධිකරණයේ වෙච්ච සිද්ධියත් එක්ක යම් චෝදනා එනවා. මේ රජය විසින් අධිකරණ විනිසුරුවරයන්ටත් තර්ජනය කිරීමක් දක්වා මේක යනවා කියලා. එහෙම වුනොත් අධිකරණයට ස්වාධීනත්වය සම්බන්ධයෙන් මොකක් වෙයිද?

පිළිතුර: ඇත්තටම අධිකරණයේ ස්වාධීනත්වයට සෑහෙන කැළලක් එල්ල වුණා 20 වැනි සංශෝධනයෙන්. 21 වැනි සංශෝධනයෙන් යම් නිවැරදි කිරීමක් වුණා. විනිශ්චයකාරවරුන්ගේ තීරණ පිළිබඳව විනය කටයුතු පවත්වාගෙන යන්නේ අධිකරණ සේවා කොමිසම. මේ කාරණා පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය ගැනත් සමාජය තීරණය කළ යුතු දෙයක්. රඳවාගෙන සිටින තුන්දෙනාගෙන් දෙන්නෙක්ම දැන් නිදහස් කරලා තියෙනවා වසන්ත මුදලිගේ තරුණයා විතරක් රඳවගෙන ඉන්නවා. ඔහුටත් කිසිම ත්‍රස්තවාදී චෝදනාවක් නම් මේ වෙනකන් නෑ. අපි හිතනවා අධිකරණ සේවා කොමිසම ඒ නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිසිය කරන චෝදනයි, විනිසුරුවරියගේ පැත්තයි බලලා තීරණ ගනී කියලා.

ප්‍රශ්නය: ඔබතුමා කිව්වා මේ 43 සේනාංකයේ දේශපාලන පක්ෂයක් කරා යනවා කියලා. එතකොට එවිටත් නම 43 සේනාංකය මද?

පිළිතුර: නෑ. අපි ඒක දේශපාලනික ව්‍යාපාරයක් හැටියට පටන් ගත්තේ. ඒක දිගටම යයි. අපි රටෙන් ඉල්ලනවා මේ රට හදන්න පුළුවන් බල කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. පළපුරුද්ද තියෙන කණ්ඩායමක්. ඒ කණ්ඩායමත් එක්ක අත්වැල් බැඳගන්න. රටේ සැබෑ වෙනසක් ඇති කරලීම සඳහා.

ප්‍රශ්නය: අපි දැක්කා ඔබතුමා ඉතිහාසයේ ඉඳලම සිංහල වීරවිධාන විදිහේ සංවිධාන පිහිටුවමින් දේශපාලනය කරගෙන ආවා. එක පක්ෂෙක නැතුව. ඔබතුමා මේ විවිධ සංවිධාන පිහිටුවමින් යන්නේ ජනාධිපති ධූරය දක්වා යන ගමනක්ද?

පිළිතුර: වීරවිධාන මම පිහිටවපු එකක් නෙවෙයි. ඒක මේ රටේ ව්‍යාපාරිකයෝ පිහිටවපු එකක්. අපි මේ රටේ දැවෙන සමාජ ප්‍රශ්න වලට ඍජුව මැදිහත් වෙච්ච අය. ත්‍රස්තවාදය තියෙන වෙලාවේ ඒ ගැන වචනයක්වත් කියන් නැතුව හැංගිච්ච අය හිටියා. ජනතා මිතුරෝ තමයි මේ රටේ පිහිටවපු දේශපාලනික පළවෙනි ව්‍යාපාරය පරිසරය පිළිබඳ කාරණයත් එක්ක. 1991 දී. අපි අවුරුදු 30 කලින් මේක දැකලා තිබුණා තරුණයෝ හැටියට. උක් වගා කිරීමටයි කියලා විදේශ සමාගම් වලට මොණරාගල ඉඩම් දීපු එක නැවැත්තුවේ අපි. ජනතා විමුක්ති පෙරමුණට වුණත් ප්‍රජාතන්ත්‍රවාදයට එන්න වටපිටාව 1994 මැතිවරණයේ ඇති වුණේ ඒකෙන්. අපි ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය හැදුවා. මම දේශපාලන වශයෙන් පක්ෂ දෙකකයි ඉඳලා තියෙන්නේ. එකක් සිහල උරුමය, එකක් ජාතික හෙළ උරුමය සහ මේ අනාගතය ඉදිරියේ ඇතිවෙන පක්ෂය. අපි හදපු සන්ධාන වලින් රටට පාඩුවක් උනාද? ඒකයි අපි අහන්නේ.

ප්‍රශ්නය: LRT එක ආපහු ලංකාවට ලැබෙයිද? ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?

පිළිතුර: රට දැන් බංකොලොත්. කිසිම විදේශ රටක්, ජපානය හෝ වෙනත් කිසිම රටක් අපිට අලුතෙන් ණය ආධාර දෙන්නේ නෑ. ඉතින් රට යම්කිසි ආකාරයකට මේකෙන් ගොඩ නැගිලා ප්‍රතිස්ථාපනය වෙච්ච දවසක තමයි නැවත ඒක හිතන්න පුළුවන්. එහෙම නැතුව මේ මං දැක්කා සමහරු කියලා තියෙනවා මේ මේක හෙට අනිද්දා පටන් ගන්නවා කියලා. එහෙම කරන්න බෑ.

– media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?