Latestදේශීය

සමුදුර දිවයිනෙන් පිටත් වෙයි

පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත “අමාන් – 2023” බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට සමුදුර නෞකාව දිවයිනෙන් පිටත් වෙයි.

පාකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සහ ආරක්‍ෂාව සඳහා එක්ව” (Together for Peace and security) යන තේමාව පෙරදැරිව අටවැනි වරටත් සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන් – 2023 (AMAN – 2023) සාගරික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව (2023 ජනවාරි 31) කොළඹ වරායෙන් පාකිස්ථානයේ කරච්චි වරාය බලා පිටත් වූ අතර, නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදුර නෞකාව පිටත් කිරීම සිදුකෙරිණි.

2023 පෙබරවාරි මස 10 වන දින සිට 14 වන දින දක්වා පාකිස්ථානයේ කරච්චි අගනුවර මූලික කරගනිමින් පැවැත්වීමට නියමිත අමාන් – 2023 (AMAN – 2023) බහු පාර්ශවික නාවික අභ්‍යාසය සඳහා පාකිස්ථානු නාවික හමුදාව විසින් රටවල් 110 ක නාවික හමුදාවන් වෙත ආරාධනය කර ඇත.

AMAN – 2023 අභ්‍යාසය මඟින් ඉන්දියානු සාගර කලාපයේ සාමය හා ආරක්‍ෂාව පවත්වා ගැනීම මූලිකව අපේක්‍ෂා කෙරේ.

ඒ අනුව, මෙම නාවික අභ්‍යාසය වරාය අදියර (Harbour phase) සහ මුහුදු අදියර (Sea phase) වශයෙන් අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී සාගරික ආරක්‍ෂක අභ්‍යාස, මානුශීය සහන සැලසීමේ අභ්‍යාස, නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා නෞකා සූදානම් වීම, නෞකා සංග්‍රාමික පෙළහැඩයන් ඔස්සේ ගමන් කිරීම, වෙඩි තැබීමේ අභ්‍යාස, නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරික්‍ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (Visit Board Search & Seizure – VBSS) ඇතුළු නාවික අභ්‍යාස රැසක් සඳහා සමුදුර නෞකාව සහභාගීවීමට නියමිතව ඇත.

කළාපීය හා කළාපීය නොවන විදෙස් නාවික හමුදාවන් රැසක් සහභාගීවන මෙවැනි බහුපාර්ශවික සාගරික අභ්‍යාස සඳහා සහභාගී වීම මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට කළාපීය නාවික හමුදාවන් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, සාගරික මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, ක්‍රමෝපායයන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, නව අභියෝග හඳුනාගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීමට හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත.

තවද, සමුදුර නෞකාව කොළඹ වරායෙන් පිටත්වීමට පෙර එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඩීඑම්ඩීසී බංඩාර මහතා විසින් බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ මහතා සහ අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු බුද්ධික ලියනගමගේ මහතා සමඟ අභ්‍යාසය සම්බන්ධයෙන් අදහස් හුවමාරුවක් සමුදුර නෞකාව මතදී සිදුකෙරුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී විසින් බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති වෙත සමරු තිළිණයක් පිරිනැමීමද සිදුකෙරිණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?