Latestදේශීයමතවාද

‘බන්දුල දරුකැලට’ පින්දෙමින් බන්දුලට කියන වග නම්…!

(සනත් බාලසූරිය)

“මගෙ දරුවො පස්දෙනාගෙන් එක්කෙනෙක්වත් විහිළුවටවත් දේශපාලනේ කරන්න හිතන්නෑ. මොකද එහෙම රටක් නෙමෙයි ලංකාවෙ දේශපාලනයට තියෙන්නෙ. මොකද අපි වැරදි කාලෙ දේශපාලනයට ආපු අය, වැරදි රටක දේශපාලනය කරපු අය.”

මෙහෙම කියන්නේ බන්දුල ගුණවර්ධන ය. ITN නාලිකාවේ සාකච්ඡාවකදී ය.

පළමුකොට ම බන්දුලට නොව විහිළුවටවත් දේශපාලනට කරන්නට නොහිතන බන්දුලගේ ළමයින් පස්දෙනාට දොහොත් මුදුන් දී වැඳ, පින්දිය යුතු ය. තාත්තලා මේ රටට කරපු හරිය මදෑ දරුවනේ! උඹල උඹලට විතරක් යමක් කරගෙන පැත්තකට වෙලා හිටපල්ලා. හැබැයි, තාත්තා උඹලා පස්දෙනාට දෙශපාලනේ අප්පිරියා කරපු එකටනම් තාත්තාටත් පින් අනුමෝදනා කරන්නම ඕනෑ ය.

(බන්දුලගේ එක් දියණියක් 2021 දී නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ තුන්වන ලේකම්වරිය ලෙස පත්කරන්නට ඇත්තේ තනිකරම අදාළ රාජ්‍යතාන්ත්‍රික සුදුසුකම් මත විනා, දේශපාලනය ඊට යන්තමටවත් ගෑවෙන්නට නැතුව ඇත. එතකොට බන්දුල, පසුව පලාගිය ජනපති ගෝඨාභය හා අගමැති මහින්ද යටතේ වෙළෙඳ ඇමැතිකම දරමින් සිටීම මේ පත්වීමට කිසිම දේශපාලන බලපෑමක් කරන්නට නැතුව ඇත.)

‘ලංකාව දේශපාලනය කරන්නට හරියන රටක් නෙමේය’ යි අද කියන බන්දුලගේ ඉතිහාස කතාවද, මේ කතාවට වුවමනා ප්‍රමාණයට යළි කටුසටහනකට ගැනීම වැදගත් ය.

බන්දුලගේ දේශපාලන ජීවිතය ආරම්භවන්නේ ඔහු පළමු වතාවට පාර්ලිමේන්තුවට තේරීපත්වූ අවස්ථාවෙන්ය යි සැලකුවත්, එය සිදුවන්නේ 1989දී ය. එතැන් පටන් අද දක්වා ඔහු මේ රටේ වසර 34ක් අඛණ්ඩව ‘දේශපාලනය’ කර තිබේ. මේ වසර 34න් ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කර නැත්තේ 1994 – 2000 අතර වසර 6 පමණි. ඒ අනුව ඔහු දැනට වසර 28ක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. එයිනුත් වසර 22ක්, එනම් 2001 සිට අද මේ මොහොත දක්වා විවිධ ඇමතිකම් දරා තිබේ.

ඒ දරපු ඇමතිකමුත් එසේ මෙසේ ඇමතිකම් නොවේ. හරියට වැඩ කළානම් රටක් හදන්නට හොඳටම උරදිය හැකි ඇමතිකම් ය. සමහර ඒවා රට හැදීමේ යතුරු දෙකතුනෙන් එකක් අත තිබූ ඇමතිකම් ය.

මොනවාද ඒ ඇමතිකම්?

අවුරුදු 4ක් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමැති හා නියෝජ්‍ය මුදල් ඇමැති ය. අවුරුදු 5ක් අධ්‍යාපන ඇමැති ය. මාස ගණනක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති ය. අවුරුද්දක් පමණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ය. දෙවතාවක දී අවුරුදු 5ක් වෙළඳ ඇමැති ය. දැනට මාස ගණනක් තිස්සේ ජනමාධ්‍ය ඇමැතිකම සේම ප්‍රවාහන හා මහාමාර්ග ඇමතිකම ද දරන්නේ ය.

කලෙක ආර්ථික විද්‍යා න්‍යාචාර්ය කෙනෙක් ලෙස පෙනීසිටි, අපේ ජනමාධ්‍ය ජීවිතයේ මුල් කාලයේ අප ද රැවටී සිටි බන්දුලගේ පසුකාලීන විහිළුසහගත වූද, නරුම වූද, වාචාලකම හැර වෙන කිසිදු හරයක් නැත්තා වූද ටොම් පච හා පල්හෑලි අහන-දකින විට, මේ මිනිහා ගැන මොනවා හෝ ලිවිය යුතුයයි නොයෙක් වර සිතුණත්, මේ හිස් ටින්-බෙලෙක්ක වෙනුවෙන් එහෙමකටවත් කාලය නාස්තිකිරීම අපරාධයකැයි සිතිණි.

කෙසේවෙතත්, ඉහත කතාවෙන් පසු ඔහුගේ දරුවන්ටත් පින්දෙමින්, අන්තිමේ දී බන්දුල ගැන මෙන්න මේ ටික ලියාතබන්නට අපට සිත්විය.

අප පාසල් සිසුන්ව සිටියදී බන්දුල ඉතා ජනප්‍රිය ටියුශන්කාරයෙකි. අප පත්තරකාරයන් බවට පත්වූ 1990 දශකයේ මුල් වසර කිහිපය වනවිට ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි. එවක ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කිරීමට වුවමනා වූවිට, එකල තිබූ විවේචක ජනමාධ්‍ය නිතර සොයාගිය ජනප්‍රිය පුද්ගලයෙක් වූයේ බන්දුල ය. ඒ වනවිට ලංකාදීපයේ සේවයේ නියුතුව සිටි මම ද කොතෙකුත් ඔහු සමග සම්මුඛ සාකච්ඡා පවත්වා, පැවැති ආණ්ඩුවේ ආර්ථික කාරණා ගැන දැඩි විවේචනාත්මක ලිපි ලියා ඇත්තෙමි. රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද යන්න ගැන කීමට ඔහුට පිටුගණන් වෙන්කර ඇත්තෙමි. අපේ සම්මුඛයන් බොහෝවිට සිදුවූයේ ජම්බුගස්මුල්ලේ තිබූ ඔහුගේ ගෙදරදී බැවින්, හිතමිතුරු කයිවාරුවලද කොතෙකුත් පැටලී සිටිබව මතක ය. එකල අප වැනි ආණ්ඩුව විවේචනය කළ පත්තරකාරයන්ට බන්දුල ගුණවර්ධන යනු මහා ආර්ථික විශේෂඥයෙක් විය.

එහෙත් මිනිසුන් ලෙස අප ද මෝරායන විට, තව තවත් දේශපාලන ආර්ථික කාරණා ගැන දැනකියා ගන්නා විට අපට තේරුම් ගියේ බන්දුල යනු ඇත්තටම ආර්ථික ඔස්තාද් කෙනෙක් නොව, ඉගෙනගන්නා කෙනෙකුට ඒ-ලෙවල් ගොඩදාගන්නට ඇවැසි තරමට පමණක් ‘පොතේ දැනුම’ ඉල්ලාගත හැකි ‘ඒ-ලෙවල් පොතේ ගුරෙක්’ බව ය. හරිහමන් ප්‍රතිවාදීන් සම්මුඛවීම කළුණික හමුවීම තරම් දුර්ලභ ලංකා දේශපාලන පිට්ටනියේ ඔහු ජාම බේරාගන්නා එකම අවිය ආර්ථික විද්‍යා වචන ටිකක් ‘සලං බලං’ ගානා, කිසිදු හිරිකිතයක් – විලිලැජ්ජාවක් නැති වාචාල මුඛරිකම බව ය.

අපේ ඒ නිගමනය මේ වනවිට බන්දුලලාම ඉතාම අපූරුවට මුළු රට හමුවේ ම ප්‍රදර්ශනය කර හමාර ය.

නියෝජ්‍ය මුදල් ඇමැතිකම ඔස්සේ වෙළෙඳ ඇමැතිකම දක්වාත්, අධ්‍යාපන මෙන්ම උසස් අධ්‍යාපන ඇමැතිකම දක්වාත් කාරිය කරවා ඇති මේ අසමත් මිනිසුන් විසින් අද අපට ඉතිරිකර ඇත්තේ පල්ල ගිය, තුන්වේල කන්න නැති, ලෙඩට බෙහෙත්ටික නැති, කඩදාසි නැති බැවින් උප්පැන්නයත් මරණ සහතික කොළයේ ලියාදෙන හිඟන රටකි. 2012දී පමණ අධ්‍යාපන ඇමැතිව සිටියදීම මේ වාචාල මිනිසා කීවේ රුපියල් 2500කින් පවුලකට මාසයක් නොමැරී ජීවත් විය හැකි බව ය. දශකයක් යන්නට මත්තෙන්, ඒ දශකය පුරාම ‘දේශපාලනය කරනවා’ කියා තමන්ගේ මඩිය පමණක් පුරවාගත් මේ අසමත් මිනිසුන් හදා ඇත්තේ රුපියල් 2500කින් දවස් දෙකක් පවුලක් නඩත්තු කරගන්නට බැරි කාලකණ්ණි රටකි.

සියවසකින් තුනෙන් එකක් ‘දේශපාලනය’ කර, ඉනුත් සියවස් කාලක් වෙළෙඳ ඇමැතිකමත් ඇතුළු බලසම්පන්නම ඇමැතිකම් ද දරා, රට හිඟමනට ඇදදමා, දැන් බන්දුලලා කියන්නේ මේක දේශපාලනය කරන්නට හරියන රටක් නොවන බව ය.

එහෙම කියනවිට බන්දුලලා හිමීට මගහැර යන්නේ, රට ඒ අගාධයට ඇදදැම්මේ තමන් විසින්ම බව ය.

හිතවත් බන්දුල,

ඔබේ ළමයෙක් විහිළුවටවත් දේශපාලනය කරන්නට නොහිතන්නේ නම් එය මේ රටේ වාසනාවකි.

ඒ ගැන ඔබේ ළමයින්ට මෙහි උඩින්ම පින්දී ඇත.

ඒ ළමයින්ට දේශපාලනය අප්පිරියා කිරීමට හැකිවන අයුරින් අඩසියවස් අඩක් ‘දේශපාලනය’ කිරීමෙන් ඔබ රටට කරන ලද සේවයට ඔබට ද පින් අනුමෝදනා වන්නේ ය‍.

අර මහින්ද මහත්තයාත් ඇතුළු තමුන්නැහේලා සමග ඔය ජඩ-අසමත්-හිඟන දේශපාලනයේ ඉන්නා හැමෝගේම දරුවන්ටත් දේශපාලනය කරන එක එපාකරවන්නට – තිත්තකරවන්නට පුළුවන් විදියට මන්තර ගුරුකමක්, පිල්ලි ඇරිල්ලක් වැනි මොනම හරි කට්ටාඬිකමක්වත් කරන්නට හැකිනම් ඔබට ‘නිවන් දකින්නට’ වුව ඒ පින ප්‍රමාණවත් වනු ඇත‍.

හැකිනම් අන්න ඒ ටික කර දී, පුළුවන් එකෙකුට රට කරගන්නට ඇර දැන්වත් ළමයි බමයිනුත් එක්කම දේශපාලනයෙන් තොලොංචි වී යන්න!

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?