Latestදේශීය

බිත්තර ආනයනය බේකරි සදහා පමණයි

මෙරටට ආනයනය කරන බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය කියා සිටී.‍

බිත්තර ආනයනය කිරීම සහ පශු සම්පත් සංවර්ධනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් (16) එම දෙපාර්තමේන්තුවේ දී පැවති අතර මෙම ආනයනික බේකරි කර්මාන්තය සඳහා භාවිත කළ යුතු බවත් සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවි කිරීමට අවසර නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

විශේෂයෙන්ම කුරුලු උණ (Bird Flue ) වෛරසය මෙරටට ඇතුලුවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවත් එම තත්වය වැළැක්වීමට තවදුරටත් සුපරික්ෂාකාරීව කටයුතු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.


ඒ අනුව බේකරි කර්මාන්තය තුළ මෙම බිත්තර භාවිත කිරීම සම්බන්ධව මාර්ගෝපදේශන මාලාවක් වහාම සකස් කරන ලෙස අමාත්‍යවරයා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.ඒ.සී.එච්.ඒ.කොතලාවල මහත්මියට උපදෙස් ලබා දී ඇත.


බේකරි කර්මාන්තය තුළ මෙම බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීමටත් බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදු කළ යුතු බවත් ඉතිරිවන බිත්තර කටු පරිසරයට මුදා නොහැරීමට වග බලා ගත යුතු බවත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.


මෙරටට බිත්තර ආනයනය කරන අවසන් අවස්ථාව මෙය විය යුතු බවත් රටට අවශ්‍ය බිත්තර සහ කුකුළු මස් නිපදවීම මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළම ආරම්භ කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.


කුකුළුමස් හා බිත්තර මෙන්ම සෙසු සත්තව නිෂ්පාදන රටේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා පමණක් නොව කුරුලු උණ වෛරසයෙන් නිදහස් රටක් ලෙස අප රටේ සතත්ව නිෂ්පාදන විදේස් රටවලට අපනයනය කිරීම සඳහා අවස්ථාව සළසා ගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


පසුගිය දිනවල පාරිභෝගිකයන්ට බලපෑ බිත්තර හිඟය සහ අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනවිට අවසර ලබා දී තිබේ.


මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ සතත්ව නිෂිපාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන කිහිපයක නිලධාරීන් සහභාගී විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?