Latestදේශීය

ආන්ඩුව දිගටම ණය ගන්නවා – වසන්ත අතුකෝරල

ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි ප්‍රකාශයට පත්කර තිබියදී ආණ්ඩුව පසුගිය ජනවාරි සිට පෙබරවාරි 15 දක්වා මාස එක හමාරක කාලය ඇතුළත රුපියල් කෝටි එක්ලක්ෂ තුන් දහස් තුන්සිය හැත්තෑ හතක (රුපියල් කෝටි 103,377) ණය මුදලක් භාණ්ඩාගාර බිල්පත් සහ තිළිණපත් මගින් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ඉරිදා ලංකාදීපයට පවසා ඇත.

ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා වියදම ජනතාව මත පනවන බදු මගින් උපයා ගන්නා බව ප්‍රකාශ කර එසේ අසීමිත බදු අය කරන අතරේම මේ ආකාරයට කෙටි කලක් තුළ විශාල ණය මුදලක් ලබා ගැනීම ප්‍රහේලිකාවක් බව පවසන ඔහු විවිධ ක්‍රම මඟින් රටට ණය ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම නවතන බවටද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙයට පෙර ප්‍රකාශ කර තිබුණේ යැයි ප්‍රකාශ කර තිබේ.

වසරේ මුල් මාස එකහමාර තුළ ලබාගෙන ඇති මෙම ණය මුදලින් රුපියල් කෝටි 81,274ක් (රුපියල් බිලියන 812) ලබාගෙන ඇත්තේ භාණ්ඩාගාර බිල්පත් මගිනි. ඉතිරි රුපියල් කෝටි 22,103 (රුපියල් බිලියන 221) භාණ්ඩාගාර බැඳුම්කරවලින් ලබාගෙන ඇතැයි මහාචාර්වරයා අවධාරණය කරයි.

සමහර බිල්පත්වලින් පළමු අදියර යටතේ රුපියල් කෝටි 57,112ද දෙවැනි අදියර යටතේ රුපියල් කෝටි 24,161ක්ද ලබාගෙන ඇති බව මහ බැංකු වාර්තා අනුව පෙනීයන්නේ යැයි පවසන මහාචාර්යවරයා ආණ්ඩුව ජනතාව මත විශාල බදු බරක් පටවමින් ආදායම වැඩි කර ගන්නා අතරේම දේශීය භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මගින් ඉහළ පොළී අනුපාත යටතේ තවදුරටත් ණය ගන්නා බවද ප්‍රකාශ කරයි.

මේ ආකාරයට රජයේ පිස්කල් ප්‍රතිපත්තිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මූල්‍ය වෙළෙඳපොළ කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?