Latestදේශීය

හරිත බලශක්ති ආර්ථිකයකට කඩිනමින් යොමුවිය යුතුයි – රනිල් වික්‍රමසිංහ

හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් (02) පැවැති උත්සවයට එක්වෙමිනි.


රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාවය පවතින මෙවැනි යුගයක එකලස් කරන ලද ට්‍රැක්ටර් , විද්‍යුත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ අද සිට මිලදී ගැනීමට වෝල්ටා ඔටෝ ටෙක් ඉන්ජිනියර්න්ස් ආයතනය මගින් පහසුකම් සලසා තිබේ.


විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට එක් වූ ජනාධිපතිවරයා පාපැදි, විද්‍යුත් යතුරු පැදි හා ත්‍රිරෝද රථ එකලස් කිරීමේ ක්‍රියාවලියේ මෙහෙයුම් පිළිබඳව ද නිලධාරින්ගෙන් කරුණු විමසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා;


වෝල්ටා සමාගමේ දක්ෂතා නැරඹීම සඳහා පැමිණීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. රජය පාර්ශ්වයෙන් මෙම ව්‍යාපාරයට ලබාදිය හැකි සහයෝගය පිළිබඳ අපි සොයා බලනවා. හරිත බලශක්තිය ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ගෙන ඇති මෙම පියවර අපි අගය කළ යුතුයි. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රටේ ආර්ථීකය හරිත බලශක්ති ආර්ථිකයකට යොමුකිරීමට සියලු දෙනා කටයුතු කළ යුතුයි. දැන් ලෝකයේ රටවල් හරිත බලශක්ති ආර්ථිකයක් සඳහා යොමු වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව ලෙස අපිත් එම ගමන් මාර්ගයට අවතීර්ණ විය යුතුයි.


ඉදිරි වසර පහක කාලය තුළ හරිත බලශක්ති ආර්ථිකයක් සඳහා යොමු වීම මගින් ශ්‍රී ලංකාවට වාසි රැසක් අත් කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ස්ව ශක්තියෙන් නැඟීසිටින මෙවැනි ආයෝජකයන් හා ව්‍යාපාරිකයන් රටට අවශ්‍යයයි. ඒ නිසා ජගත් මාකවිට මහතාගේ මෙම ව්‍යාපාරයට මම සුබ පතනවා.


වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, සිරිපාල ගම්ලත්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි සූරියආරච්චි, වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින්ස් පෞද්ගලික සමාගමේ සභාපති ජගත් මාකවිට යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

@Media Unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?