Latestදේශීය

ජනක රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණයට

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසම, එම කොමිසමේ සාමාජිකයන්, ලංකා විදුලිබල මණ්ඩල මණ්ඩලය, ලෙකෝ ආයතනය සහ නීතිපතිවරයා නම් කර ඇත.

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත 2023 ජනවාරි මස 05 වැනිදා ඉදිරිපත් කළ අතර ඒ අනුව අදාළ කොමිසම විසින් පුවත්පත් දැන්වීම් පළ කර ඊට අදාලව විවිධ පාර්ශව ගෙන්වා අදහස් ලබාගත් බවද පෙත්සම්කරු පවසයි.

පසුගිය පෙබරවාරි මස 13 සිට 24 වැනිදා දක්වා තමන් විදේශගත වී සිටි බවත් එම කාල සීමාවේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පැවැති මාර්ගගත සාකච්ඡාවකදී මෙම ගාස්තු සංශෝධනය කිරීමට තමා විරුද්ධ වූ බව පෙත්සම්කරු කියා සිටී.

එහෙත් අදාළ කොමිසමේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාවය මත මෙම ගාස්තු සංශෝධනය අනුමත කෙරුණු බවත් පෙත්සම්කරු කියා සිටී.

මෙම ගාස්තු සංශෝධනය තුළින් අඩු විදුලි ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මහජන උපයෝගීතා කොමිසම යනු මහජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීමට බැඳී සිටින ආයතනයක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එහෙත් මෙම විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය දීම තුළින් එම කොමිසම මහජන යහපතට පටහැණි ආකාරයෙන් කටයුතු කර ඇති බවත් එය නීතියට පටහැණි බවත් පෙන්වා දෙයි.

එබැවින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ විදුලි ගාස්තු වැඩි කිරීම තුළින් මෙරට මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගාස්තු සංශෝධනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?