Latestදේශීය

මගෙන් බෝධිසත්වයෙක් බලාපොරෙත්තු වෙන්න එපා – ප්‍රසන්න රණතුංග

අරගලයේ නාමයෙන් නිවාස හා දේපළ ගිනි තබා විනාශ කළ සියලුම දෙනාට උපරිම දඬුවම් ලබාදීමට ක්‍රියා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග උඩුගම්පළදී පැවසීය.

සිය පියා බෝධි සත්වයකු වුවද තමන්ගෙන් එවැන්නක් බළාපොරොත්තු නොවන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කළ පුද්ගලයන්ගේ අත කපන බවට තර්ජනය කළ ජනතා විමුක්ති පෙරමුණ අද ඡන්දය ඉල්ලා අරගල කිරීම දෛවයේ සරදමක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම පක්ෂයක් ලෙස ඕනෑම මොහොතක තම පක්ෂය මැතිවරණයට සූදානම් වුවද රජයක් ලෙස මැතිවරණ පැවැත්වීම ගැටළු සහගත බවද ඔහු කීවේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ගම්පහ, උඩුගම්පළ සිය නිවසෙ ජනදුක නිවන තැන මෙතැන මැයෙන් (12) පැවැති දේශපාලන රැස්වීමට සහභාගි වෙමිනි.

ඉකුත් මැයි මස 9 වැනිදා අරගල කරුවන් විසින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස, කාර්යාලය හා සම්මන්ත්‍රණ ශාලාව ගිනි තබා විනාශ කිරීමෙන් පසුව පැවති පළමු දේශපාලන රැස්වීම මෙයයි.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

කිසිම වෙලාවක අපි ජනතාව දාල ගියේ නෑ. මාව මරණවා කිව්වා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව ජනාධිපති මන්දිරය තුළ ඝාතනය කරන්න සූදානමක් තිබුණා. එය කරන්න මේ අරගලකරුවන්ට උවමණාව තිබුණා. ප්‍රසන්න රණතුංගව උඩුගම්පොල හන්දියේ තියලා ඝාතනය කරන්න ඕනේ කිව්වා. පටන් ගත්තේ නිට්ටඹුවෙන් අමරකීර්ති ඇමතිතුමාව ඝාතනය කරලා. පූරුවේ වාසනාවකට අපේ ජීවිත බේරුණා. රෙජී රණතුංග මහත්තයා බෝධිසත්වයෙක්. කාටවත් හිංසාවක් කළේ නැහැ. තමන්ට ගහපු තමන්ගේ ගෙවල් ගිනිතියපු මිනිසුන්ට පවා රැකියා ලබාදුන්නු කෙනෙක්. හැබැයි ප්‍රසන්න රණතුංග බෝධිසත්වයෙක් නෙවෙයි. අපේ පාක්ෂිකයින්ට හිරිහැර කරපු මිනිස්සුන් කවදාහරි වන්දි ගෙවන්න ඕන. එය ජ. වි. පෙ අය දැන ගන්නත් ඕන.

මේ රැස්වීම කරනකොට, අපි පෝස්ටර් ගැහුවේ නෑ, කටවුට් ගැහුවේ නෑ. අපි අපේක්ෂකයින්ට ආරාධනා කළා. අපි ෆේස්බුක් එකේ පොඩි පොස්ට් එකක් දැම්මා. ඒ ඇරෙන්න දැන් දේශපාලන පක්ෂ පසුගිය කාලේ මිනුවන්ගොඩ ජනතා විමුක්ති පෙරමුණ රැස්වීම කරනකොට ලක්ෂ 100 – 150 ක් වියදම් කරන රැස්වීම් කරන්න අපි බලාපොරොත්තු වුණේ නෑ.

අපි අලුත් ගමනක ආරම්භයක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.  “ජනදුක නිවන තැන මෙතැන” කිව්වේ මේ ස්ථානය ඓතිහාසික ස්ථානයක්. රෙජී රණතුංග ඇමතිතුමා, මට මතකයි 1977 මේ නිවස මේ ආකාරයටම ගිනි තිබ්බා. එදත් දේශපාලන විරුද්ධවාදීන් මේ ගේ ගිනි තිබ්බා. ඒ කාලේ මට අවුරුදු 10යි. රෙජි රණතුංග ඇමතිතුමාට පිහියෙන් අනිනකොට, උඩ පැනලා ගහලා හිංසා කරනකොට එතුමා දාලා ගියේ නෑ. 1977 ගෙවල් ගිණි තිබ්බට පස්සේ පළමු බල මණ්ඩලය කැඳවනකොට 09 දෙනයි හිටියේ. ඒ 09 දෙනා එක්ක ආරම්භ කරපු දේශපාලන ගමන තුළ විශාල දේශපාලන ශක්තිමත් අත්තිවාරමක් මේ මිනුවන්ගොඩ ආසනයට දැම්මා. එදා රෙජී රණතුංග ඇමතිතුමා මේ මිනිස්සුන්ව දාලා ගියෙත් නෑ, ජනතාව රෙජී රණතුංග ඇමතිතුමාව දාලා ගියෙත් නෑ. එදා අපිට තිබුණ ලොකුම හයිය ඒක. ඒ වගේම 2022 මේ නිවස ගිණි තිබ්බා. එදා විරුද්ධවාදීන් මේ නිවස ඇතුළු මිනුවන්ගොඩ පළාත් පාලන මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ ගෙවල් ගිණි තියලා තියෙනවා. ලංකාවේ සමස්ථ ගිනි තැබීම් හා හිරිහැර කිරීම් වලින් වැඩිම හානි සිදුවුණ දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කයයි.

එහෙම ගම්පහ දිස්ත්‍රික්කයට කළේ ඇයි?. ගම්පහ දිස්ත්‍රික්කයට එහෙම වුණේ 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැරදුනාට පස්සේ පොහොට්ටුව නිර්මාණය කරන්න වැඩපිළිවෙල අතට අරගෙන කටයුතු කරේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.  අපි 2015 ඒ අභියෝගය භාරගත්තා. ජනාධිපතිවරණයේදීත්, පාර්ලිමේන්තු මැතිවරණයේදීත්, පළාත් පාලන මැතිවරණයේදීත්, වැඩිම ඡන්ද ප්‍රමාණයක් අරගෙන  ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ ගම්පහ දිස්ත්‍රික්කය නිසයි. ඒ නිසායි විරුද්ධවාදීන්ට උවමනා වුණා ගම්පහ දිස්ත්‍රික්කය අඩපණ කරන්න.

ගෙවල් ගිනි තිව්වම සමහර මන්ත්‍රීවරුන්ට යන්න එන්නවත් තැනක් තිබ්බේ නෑ.  ඒ සමහර අය සති දෙක තුන තැන තැන නිදා ගත්තා. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන, ජනතා පරමාධිපත්‍ය ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 88/89 දී ඡන්දය දුන්නොත් අත කපනවා කිව්වා. කොළ කෑල්ලෙන් කඩ වැහුවා. කඩ ඇරිය මිනිස්සුන්ව මැරුවා. ඒ අය කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න බැරි අය. හැමදාම ඒ අය බලාපොරොත්තු වුණේ මර්දනයෙන් මේ රට පාලනය කරන්නයි. ආණ්ඩුව අල්ලන්න.

අපිට මේකට මුහුණ දෙන්න පුළුවන්. ගම්පහ අපිට ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. මිනුවන්ගොඩ ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ වාමාංශික බලකොටුවක්. අපේ ගෙවල් ගිනි තියලා අපි මාස දෙක තුනක් ගමට එන්න බැරිවෙන කොට ගමට ඇවිල්ලා බොරු කියලා මිනිස්සුන්ව රවට්ටගෙන දේශපාලනය කරන යුගයකට ජ.වි.පෙ අද ඇවිල්ලා තියෙනවා. පක්ෂයක් ලෙස අපි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්න අපි සුදානම්. නමුත් රජයක් හැටියට පළාත් පාලන මැතිවරණයට සුදානම්ද කියන එකයි ගැටළුව .

2019දි අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා අනාගතයේදී අපිට මෙහෙම ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙනවා කියලා. මේකට මුහුණ දෙන්න කැප කිරීම් කරන්න ඕනි. විදේශීය බඩු ගේන එක නවත්තන්න ඕනි. මන්ත්‍රීවරුන්ට දෙන වරප්‍රසාද අපි අඩු කරන්න ඕනි කියලා. නමුත් අවාසනාවකට අපි බලාපොරොත්තු වුණ ඉලක්ක වලට අපිට යන්න බැරි වුණා. මිනිස්සු පීඩනයකට පත් වුණා. ඒ පීඩනයෙන් ආණ්ඩු වෙනසක් කරන්නයි ජ.වි.පෙට උවමනා කළේ.

යුක්රේන් – රුසියානු යුද්ධයත් එක්ක යුරෝපයේ රටවල් වල ආර්ථිකය කඩන් වැටෙන්න පටන් ගත්තා. බ්‍රිතානයේ අගමැතිවරු තුන්දෙනෙක් මාස හයක කාලයක් තුළ මාරු වුණා. මේක ලෝකයම යම් යම් අර්බුදවලට මුහුණ දෙමින් යන වේලාවක්. අපි යුද්ධය හින්දා අර්බුදයකට මුහුණ දුන්නා. 71/ 88/89 කැරලි නිසා අර්බුදයකට මුහුණ දුන්නා. කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා. අපි මේ හැමදේකටම මුහුණ දීලා. කොවිඩ් වසංගතයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න කටයුතු කළා.

ගමේ ජනතාව අපි ශක්තිමත් කරන්න ඕන. අපේ පාක්ෂිකයෝ එහෙමම ඉන්නවා. ඒ මිනිස්සු අපිව දාල ගිහිල්ලා නෑ.ඔවුන්ට නායකත්වය දෙන්න අපි කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 30 තිස්සේ තිබ්බ යුද්ධය අවසන් කරල රටට අනාගතයක් හදල දුන්නා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කොවිඩ් වසංගතයෙන් මේ රටේ මිනිසුන්ගේ ජීවිත බේරගන්න කටයුතු කළා. ඒ වගේම වර්ථමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යුද්ධයත්, කොවිඩ් වසංගතයත් ඒ වගේම ස්වභාවික විපත් වලිනුත් කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරමින් ඉන්නවා ඇයි අපි රණිල් වික්‍රමසිංහ මහත්තයට සහයෝගය දෙන්න තීන්දු කළේ. ජනපති අයින් වුණා. අගමැති අයින් වුණා. කැබිනට් එක අයින් වුණා. අපි එකසිය පනස් ගණනක් පාර්ලිමේන්තුවේ හිටියා. අපේ නායකයෝ අයින් වුණාම පක්ෂ භේදයකින් තොරව රට ගොඩ ගන්න සියලු දෙනාටම එකතු වෙන්න කියලා අපි ආරධනා කළා . අනුර කුමාරට ආරාධනා කළා. සජිත් ප්‍රේමදාසට ආරාධනා කළා. මේ වෙලාවේ දේශපාලනය නොව රට මුල්තැන කියලා අපි ඒ අයට කිව්වා. හැබැයි කවුරුත් භාර ගන්න බය වුණා. ඒ අවස්ථාවේ තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආවේ. අපි රට භාර අරගෙන කටයුතු කරමු කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තය අයින් වුණා. අයින් වෙනකොට ව්‍යවස්ථාවෙන්ම මේ රටේ ජනාධිපති බවට රනිල් වික්‍රමසිංහ මහතා පත් වුණා. පාර්ලිමේන්තුවේදී පැවති මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කෙරෙව්වේ ඒ අභියෝගය භාරගත්ත නායකයෙක් නිසා. අවුරුද්දක් කිට්ටු වෙනකොට අද නැවත වතාවක් රට සාමාන්‍ය තත්වයට ගෙන්න හැකිවෙලා තියනවා.

අද මේ වනවිට ආර්ථිකය ශක්තිමත් කරන්න අපි යම් යම් තීන්දු අරගෙන තියෙනවා. තමුන්නාන්සේලා දකිනවා දැන් බඩුමිල අඩු වෙනවා. ඉන්ධන ටික එනවා. ගෑස් ටික අඩු නැතිව තියෙනවා. අත්‍යාවශ්‍ය භාන්ඩ ටික අද රටට එනවා. මේ මට්ටමින් අපි තව මාස 6 ක් ගියොත් අපිට පුළුවන් කම ලැබෙනවා ශක්තිමත් රාජ්‍යයක් තුළ ජනතාවගේ ප්‍රශ්න විසදන පසුබිමක් නිර්මාණය කරන්න. ඒ සදහා අපි කැපවෙලා ඉන්නවා.

සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මර්ධනයෙන් රට පාලනය කරනව කියලා. අද පාරවල් වලට බැහැලා උද්ඝෝෂණ කරන්නේ ඇයි. පසුගිය මාස දෙකට විදේශිකයෝ ලක්ෂ 2 ඉක්මවලා රටට ආවා. සංචාරකයෝ එනකොට ජ. වි. පෙ අයට කසන්න පටන් ගන්නවා. බඩුමිල අඩුවෙනකොට ජ. වි. පෙ ගොපයියන්ට සටන් පාඨ නැති වෙනවා. මේ නිසා රට නැවත අරාජික කරන්න කටයුතු කරන්න එයාල කටයුතු කරන්නෙ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ අපි නිහඩව හිටියොත්. අපි ශක්තිමත් වුණොත් ඒයාල බලාපොරොත්තු ඉටුකරගන්න බැරි වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය අපි සියලුදෙනාම බොහොම ආඩම්බරයෙන් කියනව අපි ඉන්නේ පොහොට්ටුව එක්ක කියල.

පොහොට්ටුව මිනිස් ජීවිත බේරගත්ත පක්ෂයක්. අපේ නායකයෝ මිනිස් ජීවිත බේරගත්ත නායකයෝ. මිනී මරපු නායකයෝ අපේ පක්ෂය තුළ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ එදා මින්ස්සුන්ව මැරැවා.  මාලිමාව වුණැයි කියලා ඒ අතීත පසුබිම වෙනස් කරන්න බැහැ. සාමකාමී පක්ෂයක් හැටියට අපි  හැමදාම ඉවසගෙන ඉන්නෙ නිවට කමට නෙවෙයි. ගෙවල් ගිනි තියල, තර්ජනය කරල අපේ දේශපාලන ගමන නවත්වන් බැහැ. අපි හෘද සාක්ෂියට එකඟව දේශපාලනය කරන මිනිස්සු. ගම්පහ ජනතාව ඉන්නතුරු අපේ ගමන අපි ඉදිරියට යනවා.

– ප්‍රදීප් අනුර කුමාර

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?