Latestදේශීය

වසර දහයකදී පුද්ගලයින් අනූ නව ලක්ෂයකට නීති ආධාර – ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව 2011 – 2021 දක්වා වසර දහයක කාලයේ පුද්ගලයින් අනූ නව ලක්ෂයකට නීති ආධාර ලබා දී ඇති බවත් 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ නඩු 49479 ක් සදහා නීති ආධාර ලබා දී ඇති බවත් එම කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නීතිඥ කෞශල්‍යා හපුආරච්චි මහත්මිය පවසයි.අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් සිදු වන සේවය පිළිබදව මහ ජනතාව දැනුවත් කිරීම සදහා ( 09) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකක්ඡාවකට සහභාගී වෙමින් හපුආරච්චි මහත්මිය මේ බව පැවසීය.

1978 අංක 27 දරණ පනත අනුව ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ස්ථාපිත කර අති අතර මේ වන විටත්,දිවයින පුරා නීති ආධාර මධ්‍යස්ථාන 85 ක් ක්‍රියාත්මක වෙයි.ඕනෑම පුද්ගලයෙකුට තත්වය තරාතිරම නොබලා නීති උපදෙස් ලබාදීම, අඩු ආදායම්ලාභී පුද්ගලයින් වෙනුවෙන් නොමිලේ නීතිඥ සහාය ලබාදීම, මහ ජනතාවට අවශ්‍ය නීති දැනුම ලබාදීම හා නව නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ජනතාවගේ අදහස් රජයට දැනුම්දීම යන මුලික කරුණු හතර යටතේ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ස්ථාපිත කර තිබේ.දරුවන්, කාන්තාවන් හා වැඩිහිටියන් සම්බන්ධව නඩත්තු නඩු හා ගෘහස්ථ හිංසන නඩු කටයුතුවලදී ආදායම් වාර්තා කැදවීමකින් තොරව ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නීතිඥ සහාය ලබා ගත හැකි බවත්, රුපියල් විසි පන් දහසකට වඩා අඩු ආදායමක් ඇති පුද්ගලයින් වෙනුවෙන් නීතිඥ සහාය ලබාදීම ග්‍රාම නිලධාරී විසින් ලබා දෙනු ලබන ආදායම් වාර්තාව අනුව සිදු කරනු ලබන බවත්, ජනගහනයට සාපේක්ෂව සැලකීමේදී වැඩිම නඩත්තු නඩු සංඛ්‍යාවක් නැගෙනහිර පළාත තුළින් වාර්තාවන බවත්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවාය.


යම් පුද්ගලයෙකුට නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් දිවයින ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන දුරකථන අංකය වන 0112433618 හෝ නීති ආධාර කොමිෂන් සභාවේ ක්ෂණික දුරකථන අංක වන 0703655111, 0705655111 ඇමතීමෙන් හෝ ප්‍රාදේශිය නීති ආධාර මධ්‍යස්ථාන වෙත පැමිණ හෝ නීති ආධාර සේවය ලබා ගත හැකි බව ඇය සදහන් කළාය.2022 වර්ෂය තුළ දික්කසාද නඩු 8431 ක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නඩු 481ක් වෙනුවෙන් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව පෙනී සිට ඇති අතර, එම වර්ෂය තුළ බස්නාහිර පළාතේ නඩු 12392 ක් වෙනුවෙන් පෙනී සිට පුද්ගලයින් 29492 ක් වෙනුවෙන් නීති උපදෙස් ලබාදීමට එම කොමිෂන් සභාව කටයුතු කර ඇත.ලංකා නීති ආධාර කොමිෂන් සභාව ස්ථාපිත කර මේ වන විට වසර 45 ක් සම්පුර්ණ වන බැවින් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික නීති ආධාර ක්‍රියාකාරී ප්‍රතිපත්තිය එළි දැක්වීමට කටයුතු කරන බව නීති අධාර කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සදහන් කළාය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?