Latestදේශීයමතවාද

ලාබයි, ලාබයි, ලංකාවේ බඩු ලාබයි, හැමදාම නෑ, හැම තැනම නෑ

ලංකාවේ Fire Sale ආරම්භ වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ කොන්දේසි 15 මොනවාද කියා තවම රහසක් වුවත් ඔබට හෙට සිට දිනපතා අසන්නට ලැබෙන දේවල් අනුව ඒවා මොනවාද කියා සිතා ගැනීමට හැකි වනු ඇත. ඉන් පළමු වැන්න ඊයේ උදේ පාන්දරින්ම රජය ඔබගේ දැනගැනීම සඳහා නිවේදනය කලේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස් (ඇපලෝ රෝහල) සමාගම් වල රජය සතු කොටස් විකිණීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් , අදාළ සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල වෙත එය දැනුම් දුන් බවත් ඉතා ඉහළින් නිවේදනය කල බව ඔබ මේ විට දන්නවා ඇති. රජය සතු කොටස් යනු රටේ පුරවැසියන්ට අයිති කොටස් බව බොහෝ ලාංකිකයන් දන්නේ නැහැ.

පාඩු ලබන රාජ්‍ය සමාගම් (SOEs) විකිණීමට තිබේ කියා බෝඩ් අල්ලන් හිටි වෙන්දේසි කරුවන් මේ වන විට තොග ගණනින් විකිණීම ආරම්භ කොට ඇත. පාඩු ලබන ආයතන කෙසේ වෙතත් , විකිණීම ආරම්භ කරන්නේම ලාභ ලබන සමාගම් දෙකක් වීම විශේෂත්වයකි. මොකද තැටිය රත්වී තිබෙන වෙලේ රොටිය පුච්චා ගත යුතුය. පාලකයන්ගේ මෙවැනි හැසිරීම් පිළිබඳ හොඳින් අවබෝධ කරගැනීමට අවශ්‍ය නම් නයෝමි ක්ලේන් (Naomi Klein) විසින් රචිත කම්පන වාදය (Shock Doctrine) නමැති පොත කියවාගන්න.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් 49.50% ක ප්‍රමාණක් රජය සතුවන අතර තවත් 44.98% කොටස් මැලේසියාවේ මැග්සිස් සමාගමට අනුබද්ධ ග්ලෝබල් ටෙලිකමියුනිකේෂන්ස් හෝල්ඩින්ග්ස් N.V. (GTH) සමාගමට අයිතිය. ඉතිරි කොටස් 5.52% පමණ රජයේ සහ පෞද්ගලික බැංකු කිහිපයක් , රක්ෂණ සමාගම, පෞද්ගලික සමාගම් සහ පුද්ගලයන් කිහිප දෙනෙකු සතුය.

2022 මුදල් වර්ෂය අවසාන වන විට ටෙලිකොම් සමාගමේ ආදායම රුපියල් බිලියන 108 ක් වූ අතර බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බ්ලියන 8.46ක් බව එහි මූල්‍ය වාර්තා වල දැක්වේ. 2021 ආදායම රුපියල් බිලියන 102.3 වූ අතර ලාභය (බදු ගෙවීමෙන් පසු ) බිලියන 12 .2 ලෙස සටහන් වේ. https://slt.lk වික්කම සිංහ මෙම සමාගම 100% ක් පෞද්ගලිකරණය කිරීමට සූදානම් වෙමින් සිටී.

ටෙලිකොම් සමාගමට අනුබද්ධ සමාගම් වන මොබිටෙල්, දත්ත මධ්‍යස්ථාන (Data Centers) මුහුද යටින් යන සන්නිවේදන කේබල් (SEA-ME-WE 3,4,5 6), (SLT GLOBAL) NETWORK ), මුළු රටම ආවරණය වන කිලෝ මීටර් 65000 ක ෆයිබර් ඔප්ටික් ජාලය සහ තවත් සමාගම් රාශියක් සමග රුපියල් බිලියන 220 කට වැඩි වටිනා කමක් සහිත චංචල සහ නිස්චල දේපළ සියල්ල නව ගැණුම් කරුට හිමිවේ. එමෙන්ම ලංකාවේ ඉන්ටර්නෙට් ජාලය ටෙලිකොම් සමාගම සතුය. https://slt.lk>reports-html>annual>Sri Lanka 2021
මේවා සියල්ල වික්කම සිංහ විකුණා දමා යනතුරු ඔබලා බලා සිටිනවාද? බොහෝ විට දැනට ලංකාවේ ක්‍රියාත්මක පෞද්ගලික දුරකථන සමාගමක් මෙය මිල දී ගෙන ටෙලිකොම් ඒකාධිකාරයක් රට තුල ගොඩනැගීමට බොහෝ දුරට ඉඩ ඇත . එවිට දුරකථන ගාස්තු සහ අනෙකුත් අයකිරීම් ඔවුන්ට සිතැඟි පරිදි තිරණය වනු ඇත.

ලංකා හොස්පිටල් සමාගමේ රජයේ කොටස් 51.34% විකිණීමට බලාපොරොත්තු වෙයි. මෙය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් වත්කමකි. ලංකා හොස්පිටල් සමාගමේ 2021 ශුද්ධ ලාභය රුපියල් බ්ලියන 2.23 කි. 2022 වර්ෂයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 3.2 කි. 2021 වාර්ෂික වාර්තාවට අනුව සමාගමේ වත්කම් වල වටිනාකම රුපියල් මිලියන 12,000 කි. එමෙන්ම තාක්ෂණික උපකරණ සහ මෙවලම් ආදියේ වටිනාකම රුපියල් මිලියන 4718 බව වාර්ෂික වාර්තාවේ සඳහන් කොට ඇත . https://lankahospitls.com මේ සියල්ල කුණු කොල්ලයට විකුණනු ඇත.

වික්කම සිංහ පළමු වටයේදී රජයේ සමාගම් විකුණා ඩොලර් බිලියන 4 .5 සොයාගැනීමට බලාපොරොත්තු වේ. ඉහත සමාගම් දෙකට අමතරව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව , ලිට්‍රෝ ගෑස් , ශ්‍රී ලංකන් කේටරින්, එයාර්පෝර්ට් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්, හිල්ටන් හෝටලය , වෝටර්ස් එජ්, සීනි සමාගම , සහ තවත් ආයතන රාශියක් ලැයිස්තුවේ ඇත. https://economynext.com>sri-lanka>eyes>4-5-bln-from-profitable-loss-making-state-asset-divestment මේවා සියල්ලම ලාභ ලබන ආයතන වීම විශේෂත්වයකි .

මේ වන විට ලංකාවේ සම හරක් ජනයා IMF ණය ලැබීමේ සතුට උස්සවශ්‍රීයෙන් සමරණවා ඇති. මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් ලංකාවේ මාධ්‍ය වල බ්‍රේකින් නිව්ස් ලෙස ඊයේ රාත්‍රියේ විකාශය වන හැටි දුටිමි . ජනාධිපති මාධ්‍ය අංශය සහ ඒවා වාර්තා කරන ලංකාවේ ප්‍රසිද්ධ මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය කෙතරම් ජනයා ගොනාට අන්දනවාද?

ජනාධිපති මාධ්‍ය නිවේදනය උපුටා දක්වන https://newswire.lk , ඔවුන්ගේ නිවේදනයේ දෙවන ඡේදයේ මෙසේ කියයි.
“The program will allow Sri Lanka to access financing of up to US$ 7 billion from the IMF , IFIs and MLOs” ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා ජාත්‍යන්තර මූල්‍ය ආයතන , සහ බහුපාර්ශවීය ආයතන මගින් ණය පහසුකම් ලබා ගැනීමට IMF අවසර දී ඇත ” යනුවෙනි .


එහෙත් , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියෝවා නිකුත් කල නිළ ප්‍රවෘත්ති නිවේදනයේ මෙවැනි කිසිදු සඳහනක් නොමැත. ඇය සඳහන් කරන්නේ SDR 2.286 billion = දල වශයෙන් ඩොලර් බිලියන 3 ක් ලබා දෙන බවත්, පළමු වාරිකය හැටියට ඩොලර් මිලියන 333 ක් ලබා දීමට කටයුතු කරන බව පමණි. එසේ නම් මුසාබස් කියන්නේ කවුද ?
https://www.imf.org/en/News/Articles/2023/03/20/pr2379-imf-executive-board-approves-under-the-new-eff-arrangement-for-sri-lanka
ජනාධිපති මාධ්‍ය අංශයේ මහත්වරු ඔවුන්ගේ ස්වාමියා ගොනාට අන්දවා ඇත. නැත්නම් ස්වාමියා මාධ්‍ය අංශයත්,රටත් ගොනාට අන්දවා ඇත.

කෙසේ වෙතත් , මෙහි සැඟවුණු අර්ථය පැහැදිලිය. වික්කම සිංහ පළමු වටයේදී ලාභ ලබන රජයේ සමාගම් විකුණා ඩොලර් බිලියන 4.5 උපයා ගැනීමට බලාපොරොත්තු වේ. ඒ මුදලට IMF ණය මුදල එකතු කල විට ඩොලර් බිලියන 7 සම්පූර්ණ වනු ඇත. වික්කම සිංහ උස්සාහ කරන්නේ මේ සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ යැයි කියමින් කුණු කොල්ලයට විකුණා දැමීමට ය.

ලංකාවේ රජයේ දේපළ විකිණීම පිළිබඳ ඉතා අපකීර්තිමත් ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට ඇත. ජේ ආර් ජයවර්ධන විකිණීම ආරම්භ කරන්නේ 1977 බලයට ඒමත් සමගයි. එදා ආරම්භ කල විකුණං කෑමේ සංස්කෘතිය මෙවර බෑනා නැවත ආරම්භ කොට ඇත.

එදා ලංකාවේ ජනයා සතු ආයතන වූ ලංකා පිඟන් සංස්ථාව, ලංකා සම් භාණ්ඩ සංස්ථාව , ලංකා සීනි සමාගම, ජාතික පේෂකර්ම සංස්ථාව, ලංකා තුනී ලෑලි සංස්ථාව, ලංකා සිමෙන්ති සංස්ථාව , කැලණි ටයර්, ලංකා වානේ වැනි රජය සතු සමාගම් විකුණා දැම්මේ තුට්ටු දෙකටය. පෞද්ගලිකරණය එතරම් හොඳයි නම් ඒ ආයතන අද ඉතා දියුණු තත්වයේ පැවතිය යුතුය. එකල සමහර දේශපාලකයින් ඉඩම් අක්කරය ගත්තේ රුපියල බැගින් ය. එසේ ඉඩම් ලබා ගත් කිහිප දෙනෙකු අදටත් පාර්ලිමේන්තුවේ ඇත. සමහරුන්ගේ පියාණන්ල එසේ ලබා ඉඩම් අද පක්ෂ නායකයින් වී ඒවා භුක්ති විඳුණු පෙනේ.

එමෙන්ම, මහින්ද රාජපක්ෂ රජය 2014 දී යුධ හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැන්ගරීලා හෝටලයට විකුණන්නේ ඩොලර් මිලියන 50 කටය. එහි සැබෑ වටිනාකම ඩොලර් බිලියන 2 කට වැඩිය. ගෝටාභය සමයේ කෙරවල පිටිය LNG බලාගාරයේ කොටස් 40% ක් අමෙරිකානු නිව් ෆෝට්ට්‍රෙස් සමාගමට විකුණන්නේ ඩොලර් මිලියන 250 කටය. එහි සැබෑ වටිනාකම ඩොලර් බිලියන 1 ක් පමණ වනු ඇත. ලඟදිම රනිල් වික්කම සිංහ මැනිං වෙළෙඳපොළ පිහිටි ඉඩම චීන සමාගමකට විකුණා දැමීමට සූදානමක් ඇත. එහි වටිනාකම ඩොලර් බිලියන 4 කට වැඩි බව තක්සේරු කරුවන් කියති. එහෙත් , කොපමණ මුදලකට විකුණාවිද කියා බලා සිටිමු.

පාඩු ලබන ආයතන පෞද්ගලිකරණය කිරීමේ වරදක් නැත . එහෙත් , ඒ සඳහා ලෝකයේ අත්හදා බැලූ සාර්ථක ක්‍රම රාශියක් ඇත.

සිංගප්පූරු ආර්ථිකයට විශාල වශයෙන් බරක් වූ පාඩු ලැබූ සමාගම් කිහිපයක් එකතු කොට 1974 දී ටමසෙක් (Temasek) මොඩලය හඳුන්වා දෙන ලදි. එය කෙතරම් සාර්ථකද කියනවා නම් අද වන විට සිංගප්පූරු ටමසෙක් හෝල්ඩින්ග් සමාගම සතුව රටවල් 9ක ව්‍යාපාර තිබෙන අතර 2021 මාර්තු වන විට ඒවායෙහි වත්කම් වටිනාකම ඩොලර් බිලියන 283 ඉක්මවා ගොස් ඇත. ඒවා අද වන විට සිංගප්පූරු ආර්ථිකයට ඉතා ඉහළ දායකත්වයක් ලබා දීමට සමත් වී ඇත.

මැලේසියාවේ කසානා (Khazanah) මොඩලය(1993) තවත් එවැන්නකි. එය මේ වන විට හෝල්ඩින්ග් සමාගම් දෙකක් හැටියට ක්‍රියාත්මක වෙමින් වත්කම් හැටියට ඩොලර් බිලියන 25 ක් සහ බිලියන 7 පිළිවෙලින් අත්කර ගෙන ඇත.

මීට අමතරව PPP හෝ PPPP සමාගම්, කොටස් නිකුත් නොකරන ලැයිස්තු ගත සමාගම් වැනි ක්‍රම අනුගමනය කල හැක. ගොඩගැනීමට අපහසු , රජයේ මැදිහත් වීමක් අනවශ්‍ය ව්‍යාපාර 100% පෞද්ගලිකරණය කිරීමේ කිසිදු වරදක් නොමැත. රජය හෝටල් , මාළු වෙළඳසැල්, පොල්, බිත්තර කඩ පවත්වා ගෙන යා යුතු නැත. එහෙත් රජය මැදිහත් වී දියුණු සමූපකාර ක්‍රමයක් පවත්වා ගෙන යා හැක. ලංකාවේ සමූපකාර ක්‍රමයේ වෙනස් කම් විය යුතුය.

එංගලන්තයේ අගමැති මාගරට් තැචර් 1979-90) එරටෙ රාජ්‍ය ව්‍යවසාය සියල්ලම පාහේ පෞද්ගලිකරණය කිරීමත් සමග ලෝකය පුරා පෞද්ගලිකරණ රැල්ලක් නිර්මාණය විය. ජේ ආර් ජයවර්ධන මාගරට් තැචර්ගේ කුළුපඟ මිතුරෙක් හැටියට පෞද්ගලිකරණ ලංකාවේද ක්‍රියාත්මක කලේය . ප්‍රශ්නය වූයේ එදා මේ රටවල් ආයතන පෞද්ගලිකරණය කලත් නිවැරැදි නීති හා ප්‍රතිපත්ති සකස් නොකර එසේ කිරීම තුල ඒවායේ ආදිනව අද එංගලන්තයේ මිනිසුන් භුක්ති විඳිමින් සිටී.

එංගලන්තයේ මගී ප්‍රවාහනය පෞද්ගලිකරණය කොට ඇත. දුම්රිය මාර්ග හා සංඥා රජය සතුවන අතර කෝච්චි පෞද්ගලික සමාගම් සතුය. ඔවුන් විශාල වශයෙන් ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දමමින් අධික ලාභයක් ලබයි. ගෑස් සහ ජල සැපැයුමද එසේමය. ඒ ඒ ප්‍රදේශ හෝ ප්‍රවාහන සේවා තනි තනි සමාගම් අයිති කරගෙන ඇත. ඒ හරහා අනවශ්‍ය ඒකාධිකාරයක් ඒ ක්‍රමය තුලම සකස් වී ඇත .

එහෙත් , ඉන් පාඩම් ඉගෙන ගෙන, එංගලන්තයේ පසුව බලයට පැමිණි රජයන් අවශ්‍ය නීති සකස් කොට එවැනි ඒකාධිකාරයන් බිහි නොවීමට මේ වන විට කටයුතු කොට ඇත. 1990 ගනන් වලින් පසු පෞද්ගලිකරණය කල ආයතන වලට එසේ හැසිරීමට ඉඩ නැත.

මේ සඳහා ලෝකයේ බොහෝ රට වල මෙවැනි පෞද්ගලිකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පෙර අවශ්‍ය නීති සකස් කරගනී. විශේෂයෙන්ම Antitrust Laws (විශ්වාස විරෝධි නීති ), Fair Trade Laws ( සාධාරණ වෙළෙඳ නීති ), Arbitration Laws (බේරුම්කරණ නීති ) විශේෂය. එමෙන්ම සමාගම් නීතිය , ව්‍යාපාර හා ආයෝජන සුරක්ෂිත කිරීමට අදාළ නීති යනාදිය ඇති කිරීම තුල පාරිභෝගිකයා ආරක්ෂා වීමට අමතරව රටේ ආර්ථිකයට ලබා ගත හැකි උපරිම දායකත්වයද ලබා හැක.

ලංකාවේ ඒ කිසිවක් ගැන අවධානයක් නොමැත. විකිණිය හැකි සියල්ල තුට්ටු දෙකට විකුණා දැමීම හා ඉන් තමන්ගේ ගජමිතුරන් පෝෂණය කිරීම පාලකයන්ගේ අභිප්‍රාය යි. හෙට අනිද්දා ලංකාවේ සීනි සමාගම වික්කම සිංහගේ එවැනි ගජමිතුරෙකුට නැවත ලබා දීමට සූදානමක් ඇත.

මෙසේ අපි විකුණං කමින් කොපමණ කාලයක් ඉදිරියට යන්නද? රටේ පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන , අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසන, ජීවත් වීමේ අයිතිය අහිමි කරන දුෂ්ඨ පාලකයන්ට ඉඩ දී ප්‍රශ්නය තමාගේ දොරකඩට එනතුරු බලා සිටිනවා ද , ඊට පෙර ක්‍රියාත්මක වී මොවුන් පන්නා දමා තම අයිතීන් දිනා ගන්නවා ද කියා තීරණය කිරීමට දැන් ඔබට කාලය පැමිණ ඇත .

ශාන්ත ජයරත්න
(ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?