Latestදේශීය

මහබැංකු අධිපති හොරෙක් වෙනවා – විමල් වීරවංශ

මහබැංකු ස්වාධීන කල විට සොරකම් කරන්නේ මහ බැංකු අධිපතිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මහබැංකුව ස්වාධීන කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට ඔහු පිළිතුරු දුන්නේ මෙසේය.

ප්‍රශ්නය:- මහ බැංකුව ස්වාධීන කිරීම හරිද, වැරදිද?

පිළිතුර:- මහ බැංකුව පමණක් නොවෙයි, ඕනෑම රාජ්‍ය ආයතනයක් එහි ක්‍රියා කලාපයේදී ස්වාධීන විය යුතුයි. නමුත් පාර්ලිමේන්තුවට, පවතින පාලනතන්ත්‍රයට වගකිව යුතුයි. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය මහ බැංකුවට විතරක් තනිවම තීරණය කරන්න බැහැ. කලින් කලට රටේ ආර්ථික වර්ධනයේ වෙනස්කම් වෙනවා. ඒ අනුව වෙනස් තීරණ ගන්න ඕනේ. ස්වාධීන කරනවා යැයි කියමින් මේ කරන්නේ මහ බැංකුවට, පාර්ලිමේන්තුවට හෝ බලයේ සිටින පාලනතන්ත්‍රයට හෝ කිසිදු ආකාරයකින් වගනොකියා ඔවුන්ට ඕනෑ විධියට කටයුතු කිරීමට ඉඩකඩ සලසා දීම. රජයේ ආයතනයකට එහෙම පවතින්න බැහැ. ඒක වැරදියි. ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවට වගකියන්නේ නැහැ, කියන්නේ මහජනයාට වගකියන්නේ නැහැ කියන එකයි. ලෝකය පුරා රටවල මේ විදිහට ස්වාධීන කරපු මහ බැංකු තිබෙනවා ඊට පස්සේ හොරකම් කරන්නේ මහ බැංකු අධිපතිවරුයි.

ප්‍රශ්නය:- දේශපාලන අධිකාරිය මහ බැංකුවට වැරදි තීරණ ගැනීමට බලපෑම් කිරීම නිසා රට බංකොලොත් වුණා, යන චෝදනාව තිබෙනවා නේද?

පිළිතුර:- දේශපාලන අධිකාරියට මහ බැංකුව කළ යුතු දේ තීරණය කරන්න බැහැනේ. පවතින රජය නියෝජනය කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මහ බැංකු පාලනාධිකාරියට සම්බන්ධ වෙනවා. නව මහ බැංකු පනත අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එවැනි නියෝජනයක් ලැබෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මහ බැංකු පාලනාධිකාරියෙන් ඉවත් කළා කියන්නේ පවතින රජයේ මුදල් අමාත්‍යවරයාට මහ බැංකුව සම්බන්ධයෙන් මැදිහත් වීමට කිසිදු බලයක් නැහැ කියන එකයි.

රනිල් වික්‍රමසිංහ එක පාරක් බැඳුම්කර හොරකමක් කළා තමයි. එවැනි හොරකම් හැම ආණ්ඩුවකින්ම සිදු වෙලා නැහැනේ. රනිල් වික්‍රමසිංහ කරපු ඒ හොරකම තමයි නිදහසෙන් පසුව මහ බැංකුව තුළ කරපු එකම හොරකම. ඒ නිසා ඒ බැඳුම්කර හොරකම වුණා කියලා මහ බැංකුවට පට්ට ස්වාධීනත්වයක් දීලා ‘නුඹලාට කැමති විදිහට හිටපල්ලා’ කියන එක ද හරි? බැඳුම්කර හොරුන්ට දඬුවම් දීම වෙනුවට මහ බැංකුව ස්වාධීන කරලා එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනයට නතු වීමට ඉඩ දීම ද සිදු විය යුත්තේ? ඒකට අපි විරුද්ධයි.

ප්‍රශ්නය:- රුපියල ශක්තිමත් කරලා ඩොලරය රුපියල් 200ක සීමාවේ පවත්වා ගන්නා බව ආණ්ඩුව කියනවා. මේක හොඳ ද, නරක ද?

පිළිතුර:- රුපියල ශක්තිමත් වීම නරකයි කියා කිසිවකුටත් කියන්න බැහැ. අපනයන ආදායම් ලබන පිරිස නම් හිතන්නේ රුපියල ශක්තිමත් වනවාට වඩා ඩොලරය ශක්තිමත් වීම තමයි තමන්ට වාසිදායක කියලා. නමුත් පොදු මහත් ජනතාවගේ පැත්තෙන් බලන කොට ඔවුන්ගේ උද්ධමනය අඩු වීමට, ජීවන බර අඩු වීමට බලපාන්නේ රුපියල ශක්තිමත් වීමයි. හැබැයි නිසි ක්‍රමවේදවලින් බැහැරව ගිහිල්ලා ‘ඔන්න අපි වැඩේ කළා’ කියලා පෙන්වන්න රුපියල කෘත්‍රිමව ශක්තිමත් කළොත් තමයි වැරදි.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?