Latestදේශීය

රසායනාගාර මාෆියාව

වර්තමානයේ මෙරට රසායනාගාර පරීක්ෂණ, පුද්ගලික රෝහල් හෝ රසායනාගාර මගින් සිදු කර ගැනීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ අතරින් දැනට පාලන මිලක් නියම කොට ඇත්තේ පරීක්ෂණ හතරක් සඳහා පමණි. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත් කරන ලද ගැසට් නිවේදන දෙකක් මගිනි. ඒ අනුව ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සඳහා රු. 1200 ක් ද, පූර්ණ රුධිර ගණන පරීක්ෂණය(FBC) සඳහා රු. 400 ක් ද, කෝවිඩ් PCR පරීක්ෂණය සඳහා රු. 6500 ක් ද සහ කෝවිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සඳහා රුපියල් 2000 ක් ද වශයෙනි.

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සහ පූර්ණ රුධිර ගණන පරීක්ෂණය(FBC) නියමිත ගාස්තු ඉක්මවා අය කිරීම හේතුවෙන් , පාරිභෝගික අධිකාරිය, කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින් පවරා තිබූ නඩු සඳහා පසුගිය 23 වන දින ආයතන තුනකට රු. ලක්ෂ 10 බැගින් සහ තවත් ආයතන පහකට රු. ලක්ෂ 5 බැගින් පුද්ගලික රෝහල් සහ රසායනාගාර මධ්‍යස්ථාන 8 කට රුපියල් ලක්ෂ 55 ක දඩ මුදලක් නියම වූ බවද තවත් නඩු 10 ක් පමණ අධිකරණ වල ඉදිරියේදී කැඳවීමට නියමිතව ඇති බව ද පසුගියදා වාර්තා විය.

නමුත් දැනට පාලනයකට ලක් කර නොමැති මහජනතාවට වැඩි වශයෙන් සිදු කිරීමට සිදුවන සීනි පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ, ECG පරීක්ෂණ වැනි විවිධ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සඳහා විවිධ මධ්‍යස්ථාන වල විවිධ මිල ගණන් අය කරන බව ද එම මිල ගණන් වල මිල වෙනස සමහර අවස්ථාවල සීයයට සීයක් බවද වාර්තා වේ. මෙම අක්‍රමිකතාවය සම්බන්ධයෙන් සිදු කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳව, උක්ත දඩ මුදල් නියම වූ වැටලීම්, විමර්ශන භාරව කටයුතු කළ පාරිභෝගික අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යූ. රන්ජන මහතාගෙන් අප විසින් විමසීමක් සිදු කරන ලදී.

එහිදී ඔහු පවසා සිටියේ, දැනට පරීක්ෂණ හතරක් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදන නිකුත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව වැටලීම්, විමර්ශන සිදුකරන බවත්, එසේම දැනට මිල පාලනයකට ලක් කර නොමැති රසායනාගාර පරීක්ෂණ ගාස්තු සම්බන්ධව කොළඹ සහ අවට ප්‍රදේශවල පුද්ගලික රෝහල් සහ රසායනාගාර මධ්‍යස්ථාන මගින් රැස්කරගත් තොරතුරු සහිත සමීක්ෂණ වාර්තාවක් සමග යෝජනාවක් මේ වන විටත් ප්‍රධාන කාර්යාලය වෙත යොමු කරමින් අදාළ බලධාරීන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කොට ඇති බවත්, ඒ අනුව සියලු කරුණු විශ්ලේෂණය කරමින් බහුලව භාවිතා වන රසායනාගාර පරීක්ෂණ සඳහා ඉතා ඉක්මනින් මිල සීමාවක් පැන වෙතැයි තමන් අපේක්ෂා කරන බවත් ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යූ. රන්ජන මහතා පැවසීය.

මේ අනුව මහජනතාවගෙන් මුදල් ගසා කන පුද්ගලික රෝහල් සහ රසායනාගාර මාෆියාව වහාම නැවැත්වීමට පියවර ගත යුතු බව රෝහල් ආශ්‍රිතව සිදුකළ මහජන විමසුමක දී අනාවරණය වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

@ Reporter

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?