Latestදේශීයමතවාද

ගෝල්ෆේස් අරගලයට වසරක් සැපිරීම සහ “අනිද්දා”ට බූපති කියූ කතාව

ගෝල්ෆේස් අරගලයට වසරක් පිරීම නිමිත්තෙන් “අනිද්දා” පුවත්පත විවිධ සමාජ ක්‍රියාධරයින්ගේ අදහස් ලබා ගනිමින් ලිපියක් පල කර තිබුනා. 2023 අප්‍රේල් මස 09 දිනැති  “අනිද්දා” පුවත්පතේ පලවී ඇති එම ලිපියට අදහස් දක්වමින්  භූපති නලීන් වික්‍රමගේ තම අදහස් පල කර තිබුනා. බූපති විසින් ඉදිරිපත් කරන ලද ජනප්‍රිය නොවන ‌මෙන්ම ආන්දෝලනාත්මක අදහස් හී වැදගත් කම නිසාම අපි එම අදහස් අපගේ වෙබ් අඩවියෙහි ද පල කරන්නට තීරණය කළා. පහතින් සටහන් වන්නේ බූපති නලීන් විසින් “අනිද්දා “පුවත්පතට ලබා දී ඇති ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් වූ සාරාංශ සටහනයි.

අරගලය ගැන පළ කරන අදහස්වලට මට ලොකු විවේචනයක් තියෙනවා. මම ඒ ගැන පොතකුත් ලිවුවා. මේ මහා ජන නැගිටීම එක පුද්ගලයකුට එරෙහිව සිදු වුණ දෙයක්. ඒ කිවුවේ ගොඨාභය රාජපක්ෂ කියන තනි පුද්ගලයාට එරෙහි ව ආපු සටන් පාඨයක්. තව පොඩි පොඩි සටන් පාඨ තිබුණා. එක පුද්ගලයෙක් ප්‍රශ්ණයක් වුනා කියලා, ඒ පුද්ගලයාව මාරු කළා කියලා සිස්ටම් වෙනස් වෙන්නේ නැහැ. එහෙම බැලුවම මට තේරෙන්නේ අරගලයෙන් මුකුත් ම වුනේ නෑ කියලා. වුනේ චීනය මූලික කරගත්ත ලංකාවේ භූ දේශපාලනය ආයෙමත් ඉන්දියාව-ඇමරිකාව දෙසට හැරුණ එක. නැවත වටයකින් රනිල් වික්‍රමසිංහ පුරුදු දේශපාලනය ම කරමින් ඉන්නවා. එයා කරන්නේ ඔක්කොම විකුණ විකුණ යමින් ඉන්න එක. ඕක මහා අමාරු දෙයක්වත් බුද්ධිමත් දෙයක්වත් නෙමෙයි. ඕක ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. දැන් තිබුනටත් වඩා සුභසාධන රාජ්‍යය කප්පාදුවෙමින් යනවා.

කොමියුනිස්ට්වාදියෙක් විදියට මට කියන්න තියෙන්නේ, අරගලයට තිබුනේ හුදු මධ්‍යම පාන්තික සටන් පාඨයක් කියලා. මධ්‍යම පාන්තික අවශ්‍යතා ටික නැති වුණ නිසයි අරගලය නිර්මාණය වුණේ. ඇත්තටම ඇතිවුනේ බලශක්ති අර්බුදයක්. ගෑස්, තෙල්, ලයිට් නැති වුණ නිසයි මිනිස්සු පාරට ආවේ. මහජනයා කියන්නේ තක්කඩි ජාතියක්. මම බය නැතිව කියනවා මහජනයා කියන්නේ තක්කඩි ජාතියක්.

ආයෙමත් පොහොට්ටුවේ රෝහිත අබේගුණවර්ධනලා, සනත් නිශාන්තලා, තමංගේ සුපුරුදු දේශපාලනය කරමින් ඉන්නවා. මිනිස්සු ආයෙමත් ඊළග ඡන්දෙදි ඔය මිනිස්සුන්ට ම නෙමෙයි ද ඡන්ද දෙන්නේ? දැං ආයෙත් කියනවා රට බේරගන්න තියෙන අවසන් අවස්ථාවලු. ඔය වගේ අවස්ථා කීයක් නම් දැං ආව ද? පාලකයෝ ආයෙමත් තමන්ගේ සුපුරුදු දෘෂ්ඨිවාදයට ගිහින් තියෙනවා. අරගලයේ හිටපු අය දැන් එක එක තැන්වල එක එක පක්ෂ එක්ක වැඩ කරනවා. ඔන්න දැන් ආයෙත් සුපුරුදු බල පොරය ඇවිල්ලා. ශිෂ්‍ය ව්‍යාපාරයට අරගලය වෙලාවෙ දී කොච්චර මිනිස්සු හොද කිවුව ද? ඒත් දැන් ආයෙත් ශිෂ්‍ය ව්‍යාපාරයට සුපුරුදු චෝදනා ටිකම ඇවිල්ලා. කෝ දැන් සුදර්ශන ගුණවර්ධනලා. කෝ දැන් පාක්‍යසෝති සරවනමුත්තුලා. කෝ දැන් නිමල්ලා ප්‍රනාන්දුලා. ඒකමි මම කියන්නේ අරගලයෙන් කිසිවක් වෙනස් වුනේ නැහැ කියලා. ජාතිවාදී ගැටලුවල කිසිම ‌වෙනසක් වෙලා නැහැ. ඇමරිකානු ඩොලර් බිලියන පනස් ගානක් ණයක් තියාගෙන අයි.එම්.එෆ් එකෙන් හම්බ වුන පොඩ්ඩට මිනිස්සු සතුටු වෙනවා. ඒක හරියට, ලක්ෂ 8ක් විතර ණය තිබ්බ මිනිහෙක් රුපියල් 250ක් තියාගෙන නටනවා වගේ වැඩක්.

පාරිභෝගික භාන්ඩ වල මිළ පොඩ්ඩක් අඩු කළාම මිනිස්සුන්ට ඔක්කොම මතක නැහැ. ඒ නිසා මගේ ප්‍රධාන විවේචනය තියෙන්නේ මිනිස්සු ගැන. මේ රටේ මිනිස්සු හරිම මෝඩයි. හරිම පරිභෝජනවාදියි. මිනිස්සුන්ට ඕනා කන්නයි, අදින්නයි, බොන්නයි විතරයි. එතකොට පාලකයන්ට ලේසියි මිනිස්සුන්ව රවට්ටන්න. අරගලයේ සටන් පාඨයක් තිබුනා, ඔයාලා හැප්පුනේ වැරදි පරම්පරාවක් එක්ක කියලා. මට අනුව ඒක වැරදි සටන්පාඨයක්. ඇත්තටම පාලකයා හැප්පුනේ වැරදි පංතියක් එක්ක. ඕන පාලකයෙක් මධ්‍යම පංතිය ෂේප් එකේ තියාගන්නවා. ඒ නිසා මේක නිකම් ජන නැගිටීමක් මිසක් අරගලයක් නෙමෙයි. අරගල මීට වඩා වෙනස්. ඊටත් එහාට ගියොත් විප්ලව තවත් වෙනස්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?