Latestදේශීය

ලාංකේය ජනතාව අළුත් සමාජයක් වෙත රැගෙන යාම අපේ අරමුණයි

මෙවර මැයි දිනය අන් කවරදාටත් වඩා ලාංකීය ජනතාවට වැදගත් බවත් මේ දුෂ්ඨ දූෂිත පාලන ක්‍රමය නිමා කර ලාංකීය ජනතාව අලුත් සමාජයක් වෙත ගෙන යාම අරමුණු කර ගෙන ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාලිය සහ රැලිය පවත්වන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (27) මැයි දිනය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළ කරුණු පහත දැක්වේ.

“ජනතා විමුක්ති පෙරමුණ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දැවැන්ත රැලියක් සහ පෙළපාළියක් කොළඹ දී පවත්වන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. වැඩකරන ජනතාව, ගොවියන්, ධීවරයන්, තරුණ, ශිෂ්‍ය, කාන්තා විශාල පිරිසක් රට පුරාම මේ වෙනුවෙන් පෙළගැසෙමින් ඉන්නවා. පීඩාවට පත්වුණු, වැඩකරන ජනතාවගේ බලය පෙන්වන්න ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වෙනවා. “රට විකුණන ජන පීඩක, දූෂිත පාලනය පරදවමු. ජනතාවාදී පාලනයක් ගොඩනඟමු.” යන තේමාවෙන් මෙවර මැයි පෙළපාළිය සහ රැලිය පවත්වනවා.

පවතින දූෂිත සහ වංචාකාරී පාලනය රටේ අවසන් සම්පත් ටිකත් විකුණමින් ජනතාව පීඩාවට පත්කරමින් රට පාවා දෙමින් තවත් ටික කාලයකට පාලනය ගෙන යන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය පරාජය කර, ජනතාවාදී පාලනයක් ගොඩනැගීම සඳහා ජනතාව පෙළගැස්වීම අරමුණු කරගෙන මේ තේමාවෙන් අපි මැයි දිනය පවත්වනවා. මෙවර විශාල ජනතාවක් අප වටා එක්රොක්වී සිටින නිසා ගෝල්ෆේස් පිටිය ලබාදෙන ලෙස කල්වේලා ඇතිව ඉල්ලා සිටියා. ඊට පසුව රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ පිටිය කිසිම දේශපාලන රැස්වීමකට ලබානොදෙන බවට තීරණය කළා. රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩුවෙන්මයි ටික කලකට පෙර ගෝල්ෆේස් පිටියේ මැයි දින බජව් පැවැත්වූයේ. ඒ වෙනුවෙන් ඉන්දියානු ගායකයෝත් ගෙන්වූවා. දැන් මැයි දින රැලියක්වත් පවත්වා ගන්න ඒ කිසිවෙකුටත් නොහැකි නිසා ජනතා විමුක්ති පෙරමුණේ රැලියට ගෝල්ෆෙස් පිටිය ලබාදීම වැළැක්වූවා.

මේ නිසා කොළඹ විහාරමහාදේවී උද්‍යානයත් නගර සභාවත් අතර තිබෙන මාවත මැයි රැලිය පැවැත්වීමට අපි වෙන්කර ගෙන තිබෙනවා. පෙළපාළිය බී.ආර්.සී. පිටියෙන් පටන් ගන්නවා. සවස 2.00ට පෙළපාළිය ආරම්භ කරන්නත් මැයි රැලිය සවස 4.00ට ආරම්භ කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙනුවෙන් මුළු රටම සූදානම් වෙමින් ඉන්නවා. අපිට ප්‍රමාණවත් ස්ථානයක් ලබා නොදීමෙන් අපේ රැලිය අඩපණ කරන්න ආණ්ඩුව උත්සාහ කළා නම්, අපි ඊට සුදුසු කොතැනක හෝ එය පවත්වනවා. ඉතිහාසයේ පාලක කණ්ඩායම් මැයි දිනය බජව්වක් කරගෙන මේ දිනයේ අර්ථය විකෘති කළා. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය පුරාම මැයි දිනයේ ගරුත්වය සහ ඇත්ත අර්ථයෙන් මැයි පෙළපාළිය සහ රැලිය පවත්වා තිබෙනවා. මෙවරත් එවැනිම පෙළපාළියක් සහ රැලියක් පවත්වනවා. 1886 ඇමෙරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයේ පැවැත්වූ පැය 08ක වැඩ දිනයක් ඉල්ලා කළ අරගලය වෙඩි තබා මර්දනය කිරීමෙන් කම්කරුවන් විශාල පිරිසක් මිය ගියා. ඒ අරගලය සැමරීම සඳහා මැයි 01 දිනය යොදා ගැනීමට එංගල්ස්ගේ නායකත්වයෙන් යුත් සමාජවාදී ජාත්‍යන්තරය කටයුතු කළා. එතැන් සිට ලෝකය පුරාම මැයි 01වැනිදා වැඩකරන ජනතාවගේ දිනය ලෙස සමරනවා.

වැඩකරන ජනතාවගේ දිවි පිදීම සමරන මේ දිනය කෙළසන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. වැඩකරන ජනතාවගේ අයිතීන් රැකගන්න සහ දිනාගන්න පෙළගැසෙන දිනයක් හැටියට මේ දිනය යොදා ගන්නවා. මේ ආණ්ඩුව අනුගමනය ජන පීඩක ක්‍රියාමාර්ග නිසා සමස්ත ජනතාවම අර්බුද රැසකට මුහුණ දී සිටිනවා. රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස පිහිටුවාගෙන තිබෙන වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ අපේ රට දණගස්වා තිබෙනවා. මෙතෙක් සිටි පාලකයන් විසින් ඇති කළ අර්බුදය විසඳා දීමට මුළු රටම මූල්‍ය අරමුදල ඉදිරියේ පාවා දී තිබෙනවා. ඩොලර් මිලියන 2900ක් වැනි පුංචි ණය මුදලක් වෙනුවෙන් අපේ රටේ ජනතාවගේ සියලු අයිතිවාසිකම් පාවාදෙන්න උත්සාහ ගන්නවා. ජාතික ආරක්ෂාවට පවා අතිශයින් වැදගත් රාජ්‍ය ආයතන විකුණන්න උත්සාහ කරන අතර මේ ආයතන රැකගන්න සටන් කරන සේවකයන් ත්‍රස්තවාදීන් ලෙස නම් කර, මර්දනය කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. රාජ්‍ය ආයතන විකුණමින් වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අහෝසි කරන, රටේ ස්වෛරීත්වයට හානි කරන, ජනතාව මත දැවැන්ත බදු බරක් පටවා තිබෙන ආණ්ඩුව, රට වෙනුවෙන් වැඩකරන කිසිවෙකුටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. වැඩකරන ජනතාවගේ හඬට ඇහුම්කන් දෙනවා වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හඬට යටවෙලා දිගටම කටයුතු කරමින් ඉන්නවා.

බදු පීඩනය නිසා විශේෂයෙන්ම සිදුවී තිබෙන බුද්ධි ගලනයෙන් මේ රට ගොඩනඟන්න තිබෙන මානව සම්පත රටට අහිමි කරමින් තිබෙනවා. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මගින් අපේ රටේ මූල්‍ය පද්ධතිය බිඳ වැට්ටීමටත්, වැඩකරන ජනතාවගේ ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. අරමුදල් අනතුරට හෙළමින් තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී විදේශීය ණය වගේම දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන ලෙස කොන්දේසි පනවා තිබෙනවා. දේශීය ණය ලබාගෙන තිබෙන්නේ බැංකුවලින් සහ වැඩකරන ජනතාවගේ අරමුදල්වලින්. දේශීය ණය කපා හැරීම බැංකු පද්ධතියටත් වැඩකරන ජනතාවගේ ඊ.පී.එෆ්. අරමුදලටත් බලපානවා. ඒ සම්බන්ධයෙන් කතා කළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ “බැංකු කඩාගෙන වැටුණොත් බැංකු වහනවා. කොටස් වෙළඳපොළ කඩාගෙන වැටුණොත් කොටස් වෙළඳපොළ වහලා දානවා,” කියලයි. දැන් ඔහු පාරම්බාන්නේ බැංකු වට්ටලා හරි, කොටස් වෙළඳපොළ වහලා හරි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකරන්න. ඔහුගේ ස්වාමියා බවට පත්වී ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. එයින් ලැබෙන ණය කොන්දේසි වෙනුවෙන් අපේ රටේ වැඩකරන ජනතාවගේ, පොදු ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කරමින් ඉන්නවා.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් බැඳුම්කර මිලදී ගන්නත් කොටස් වෙළඳපොළේ කොටස් මිලදී ගන්නත් යොදවා තිබෙනවා. අර්ථසාධක අරමුදලේ තිබෙන්නේ ආණ්ඩුවේ සල්ලි නොවෙයි. රනිල් වික්‍රමසිංහගේ බූදලයක් නොවෙයි. මේ රටේ ජනතාවට අයිති මුදල් තිබෙන්නේ. ඒ මුදල්වලින් සූදු කෙළලා විනාශ කරන්න අයිතියක් ආණ්ඩුවට නැහැ. රනිල් වික්‍රමසිංහලා සිදුකළ මහා ආර්ථික විනාශයේ වන්දිය ගෙවීම වැඩකරන ජනතාව මත පටවන්න එක පැත්තකින් උත්සාහ කරනවා. අනික් පැත්තෙන් මේ ජනතාව බදු බරකින් බැට කනවා. බඩු මිල අධිකව ඉහළ යාමෙන් බැට කනවා. රාජ්‍ය ආයතන විකිණීමේ අනතුරටත් මුහුණ දී සිටිනවා. මෙවැනි මහජන විරෝධී ක්‍රියාමාර්ග ගන්නා විට ඊට එරෙහිව හඬ නඟන ජනතාව බියවද්දන්න ක්‍රියාකරමින් සිටිනවා. වැඩකරන ජනතාවට වෘත්තීය අරගලවල නිරත වීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් ලබාදී තිබුණත් ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහගේ පාලනය ඒ ව්‍යවස්ථාවේ අයිතීන්ටත් ඉඩ දෙන්නේ නැහැ. රස්තියාදු ගහන්න වෙලාව තිබෙන රනිල්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබාදෙන්නේ නැහැ. උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් නොකරන ආචාර්යවරුන්ගේ දේපොළ රාජසන්තක කරන බවට තර්ජනය කරනවා. මහින්ද රාජපක්ෂගේ ආශීර්වාදයෙන් රනිල් වික්‍රමසිංහගේ පාලනය ගමන් කරමින් සිටින්නේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අහෝසි කරන මාර්ගයක. මේ නිසා වැඩකරන ජනතාව ගැන කථාකරන්න ඔවුන්ට අයිතියක් නැහැ.

අපි මැයි දිනය පවත්වන්නේ එවැනි තත්වයක් තුළයි. වැඩකරන ජනතාවට තම තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා අරගල කිරීමට පමණක් තවදුරටත් සීමා වෙන්න බැහැ. මේ දුෂ්ට පාලකයින් ඒ අයිතීන් ලබාදෙන්නේ නැහැ. අයිතීන් ලබාදීමට හැකියාවකුත් ඔවුන්ට නැහැ. ඒ නිසා වැඩකරන ජනතාව පොදු ජනතාව සමග අත්වැල් බැඳගෙන මේ දුෂ්ට පාලනය පරාජය කර, ජනතාවාදී පාලනයක් පිහිටුවිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් දැවැන්ත මහජන බලයක් ලෙස ඒකරාශී වී වැඩකරන ජනතාවගේ අධිෂ්ඨානය කුළුගැන්වීමේ අවස්ථාවක් වී තිබෙනවා. අනෙක් සමහර පක්ෂවලට මැයි දිනය පවත්වා ගන්නවත් ඉඩක් ලැබී නැහැ. එක්සත් ජාතික පක්ෂයට වගේම පොදු ජන පෙරමුණටත් මැයි දිනය පැවැත්වීමට හැකියාවක් නැති වී තිබෙනවා. තාවකාලික කොන්ත්‍රාත්තුවකට පැමිණි රනිල් වික්‍රමසිංහ යටතේ එක්සත් ජාතික පක්ෂයට මැයි දිනය සැමරීමට නොහැකි වීම වැඩකරන ජනතාවගේ පැත්තෙන් ජයග්‍රහණයක්. පොදුජන පෙරමුණ පැත්තෙන් බැලුවත් ඔවුන්ට මැයි දිනයක් පැවැත්වීමට නොහැකි වීමත් වැඩකරන ජනතාවගේ ජයග්‍රහණයක්. අපේ රට විනාශ කළ, රටේ සම්පත් විකුණූ, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් උදුරාගත් පාලක කල්ලිය සමස්ත ජනතාවගෙන්ම ප්‍රතික්ෂේප වීම සිදුවී අවසන්.

මේ සියලු කණ්ඩායම් පරාජය කර, මේ රට ගොඩනැගිය හැකි මානව අයිතිවාසිකම් රැකෙන, පොදු ජනයාගේ අයිතීන් රැකෙන, රටේ සම්පත් රැකෙන නව සමාජයක් නිර්මාණය කිරීම සඳහා ජනතාවාදී පාලනයක් නිර්මාණය කළ යුතු වෙනවා. ජාත්‍යන්තර කම්කරු දිනයේ අපේ අරමුණ වී තිබෙන්නේ ලෝකයේ ජනතාව සමග අත්වැල් බැඳගනිමින් ලාංකේය ජනතාව අලුත් සමාජයක් වෙත ගෙනයාමයි. වසර පන්සියයකටත් වඩා පැරණි ධනපති ක්‍රමයට ජනතාවගේ අයිතිවාසිකම් ලබාදෙන්න බැහැ. දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න බැහැ. ඉගෙන ගත් දරුවන්ට රැකියා ලබාදෙන්න බැහැ. ලෝකයේ ජීවත්වෙන ජනතාවට තුන්වේල කෑම සඳහා ආහාර ලබාදෙන්න බැහැ. යුද්ධවලින් දහස් ගණන් මිනිසුන් දිනපතා මිය යමින් තිබෙනවා. මනුෂ්‍යයෙක් වශයෙන් ජීවත්වෙන්න අවශ්‍ය මූලික අයිතිවාසිකම් ලබාදෙන්න බැරි මේ සමාජය වෙනස් කළ යුතුයි. මුළු ලෝකයම තිබෙන්නේ ඛේදවාචකයක. සංවර්ධනය ගැන පම්පෝරි ගැසුවත් මිනිසුන්ට ජීවත් වෙන්න අවශ්‍ය මූලික අයිතිවාසිකම් සම්පූර්ණ කරන්න බැරි බව ඔප්පු කරලා තිබෙන්නේ. මිනිසුන් අතර සමගිය තියාගන්න බැහැ කියලා ඔප්පු කර තිබෙන්නේ. ඔවුන්ට නිර්මාණය කළ හැක්කේ යුද්ධ, අපරාධ, ලෙඩරෝග, පමණයි. මනුෂ්‍යත්වය රකින්න බැහැ. ඒ නිසා මේ සමාජය වෙනස් කර, මනුෂ්‍යත්වය තිබෙන සියලු ජනතවට සමානාත්මතාවය පවතින සියලු ජනතාවන්ට ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා දැවැන්ත මහජන බලයක් නිර්මාණය කිරීමට මේ මැයි දිනයේදී අධිෂ්ඨානයෙන් එක්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටිනවා. සැබෑ මහජන පාලනයක් නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය එක්රැස්කර ගන්නා මැයි දිනයක් බවට මේ මැයි දිනය පත්කර ගමුය කියලා ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

ප්‍රශ්නය:-
එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධයෙන් අල්ලස් ගැනීම ඇතුළු විවිධ චෝදනා ඉදිරිපත් වී තිබෙනවා. අධිකරණ ඇමතිවරයා පවා මේ සම්බන්ධ තොරතුරු හෙළිකරනවා. මේ සම්බන්ධයෙන් ඔබ දරන මතය කුමක්ද?
පිළිතුර:-
අපිට තිබෙන ගැටලුව දැන් ආණ්ඩු කරන්නේ කවුද? ආණ්ඩුවේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ. එයා මාධ්‍යවලට ප්‍රකාශ කරලා වැඩක් නැහැ. නැවට වන්දි ගැනීම සම්බන්ධ ප්‍රශ්නයේදී කවුරුන් හෝ අල්ලසක් අරගෙන තිබෙනවා නම්, අදාළ තැනැත්තන් රහස් පොලීසිය හමුවට කැඳවා ප්‍රකාශ ලබාදෙන අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒ වෙනුවට මේ අය ආණ්ඩුවේ සිටිමින් ජනතාව වෙත විවිධ ප්‍රකාශ කරනවා. මේක විකාරයක්. එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ගැනීමට මෙතරම් කාලයක් ප්‍රමාද කරලා දැන් නඩු පැවරීම ගැන කතා කරන්නේ ඇයි? අදාළ වන්දි මුදල ගන්නවත් උනන්දුවක් නැත්නම් මේ ඇමතිවරු මොනවාද කරන්නේ? මේ අය මහජන මුදලින් නඩත්තු වෙමින් කිසිදු වගකීමක් ඉටුකරන්නේ නැති නිකම්ම නිකම් යැපෙන පිරිසක් විතරයි. මේ අයගෙන් යුක්තිය සාධාරණය බලාපොරොත්තු වීමේ තේරුමක් නැහැ.

ප්‍රශ්නය:-
අයි.එම්.එෆ්. ආයතනයෙන් ණය ලබාගෙන රට ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ ජනාධිපතිවරයා ගෙනයන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දකින්නේ කොහොමද?
පිළිතුර:-
මේ සම්බන්ධයෙන් සංක්ෂිප්ත අදහස අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේදී 26 දා සිදුකර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ඉන්නේ සිහින ලෝකයක මිස මහපොළොවේ නොවෙයි. ඔහු හදාගත් සිහිනය මහපොළොවේ ක්‍රියාත්මක කළ හැකි යැයි ඔහු සිතනවා. එය මහපොළොවේ ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ හීනය මහපොළොවේ ක්‍රියාත්මක කිරීමට ගොස් ඔහුගේ පක්ෂය දෙකට කැඩුණා. ඒ නිසයි ඔහුට මන්ත්‍රීකමක්වත් ලබා ගැනීමට නොහැකි වුණේ. ඒ නිසා සිහින ලෝකයේ ජීවත් වුණාට බැංකු වහන්න හෝ කොටස් වෙළඳපොළ වහන්න බැහැ. මේ රට විනාශ කළා කියලා රාජපක්ෂලා චෝදනා කළ රනිල් වික්‍රමසිංහට බලය දීලා රාජපක්ෂලා බලාගෙන ඉන්නවා. ඒ නිසා කළ යුතු වන්නේ සිහින ලෝකයේ ජීවත්වෙන, ජනවරමක් නැති කෙනෙකුට මේ තනතුර දී ඒ දිහා බලාගෙන අත්පොඩි ගහන මහින්ද රාජපක්ෂලාත් පරාජය කර, ජනතාවාදී පාලනයක් පිහිටුවීමයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?