Latestදේශීය

රනිල් සූම් තාක්ෂණයෙන් එජාප මැයි රැලියට

මේ වසර තුළ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවිම සඳහා සියලු පාර්ශවෙවල එකඟතාව ලබාගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සියලුදෙනාට පිළිගත හැකි විසඳුමකට එළඹීමට අපේක්ෂා කරන බවය.

තමා රට භාරගත්තේ බිඳවැටුණු ආර්ථිකය ගොඩනැගීමට හැකි බවට වන විශ්වාසය මත බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

දේශපාලන ස්ථාවරත්වය ද මේ වන විට ගොඩනඟා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වූ සියලුදෙනාට ස්තූතිය පළකරන බව ද සඳහන් කළේය.

එමෙන්ම නිදහසින් වසර සියයක් සපිරෙන 2048 වන විට, ඉන්දියාව 2047දීත්,  චීනය 2049දීත් සපුරා ගැනීමට අපේක්ෂා කරන අන්දමේ සංවර්ධිත ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීම ශ්‍රී ලංකාවේ ඉලක්කය විය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

2048 වසරේ දී ශ්‍රී ලංකාවේ දියුණුවේ වසර වන අතරම මේ රට ගොඩනගන්නේ වත්මන් පරපුරට පමණක් නොව අනාගත තරුණ පරපුරට සහ දරුවන්ට බවත් මැයි දින සැමරුම අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම තම උත්සාහය වන්නේ දේශපාලනය නොව රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කර පුරවැසියන් මත පැටවී ඇති බර අඩු කිරීම බවත් පැවසු ජනාධිපතිවරයා, රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට තමාට ශක්තියක් ඇති බවත් පැවසීය.

ඒ සඳහා අමාත්‍යවරුන් සමග කටයුතු කිරීමට හැකියාව ඇති බවට තිබු විශ්වාසය හේතුවෙන් තමා ජනාධිපති ධුරයේ වගකීම භාරගත් බව ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?