Latestදේශීය

රට පුරා ඩෙංගු මර්දන වැඩසටහන්

ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය සමඟ ඒකාබද්ධව ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.ඒ අනුව මේ වන විට ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සඳහා දීප ව්‍යාප්තව පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසරේ මුල් කාර්තුව හා 2023 වසරේ මේ දක්වා කාලය සංසන්දනය කරන විට මේ වන විටත් ඩෙංගු රෝගීන් 2000ක පමණ වැඩි වීමක් වාර්තා වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේය.පසුගිය වසරේ ජුනි- ජූලි මාසවලදී රෝගීන් 11,000 බැගින් වාර්තා වූ අතර මේ වසරේදී එම සංඛ්‍යාව ඉක්මවා යාමට ඇති හැකියාව පාලනය කිරීමට සෞඛ්‍ය අංශ දැඩි උත්සාහයක නිරතව සිටින බව ද ඒ මහතා පැවසීය.

ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා සෑම සිකුරාදා දිනයක්ම පිරිසිදු කිරීමේ දිනයක් ලෙස නම් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ආමාත්‍යාංශය මේ වන විට යෝජනා කර තිබෙන බව ද ඔහු සඳහන් කර සිටියි.ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි නවතම දත්තවලට අනුව මෙම වසර තුළ ඩෙංගු වැළඳීමෙන් පුද්ගල මරණ 22ක් වාර්තා වන අතර, 2023 ජනවාරි මස සිට මැයි 16 වනදා වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 34,511ක් වාර්තා වී ඇත.ඒ අනුව බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම ගණන 17,049කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 7,797ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 7,219ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 2,033ක්ද වශයෙන් රෝගීන් වාර්තා වී තිබේ.එමෙන්ම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරන අන්දමට මේ වන විටත් දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කර පිරිසිදු කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු අනෙකුත් ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම, නාගරිකව හා ග්‍රාමීයව සියලු නිවාස සහ වෙළෙඳ සැල් පරිශ්‍ර පරීක්ෂාවට ලක් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් දැනුවත් කිරීම්, ඩෙංගු රෝගීන් හඳුනා ගන්නා ප්‍රදේශ වෙත ගොස් අවට ස්ථානවල ඩෙංගු රෝග වාහක මදුරුවන් විනාශ කිරීම, දුමාරණය, ස්ථානීය පරීක්ෂාවන් සිදු කර මදුරු කීටයන් හඳුනා ගැනීම, නිවාස හා ආයතන පරිශ්‍ර පිරිසිදුව පවත්වා ගෙන යාමට අපොහොසත් වන්නන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආදිය මඟින් ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශවල මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා ජනතාවගේ ද සහාය උපරිමයෙන් අවශ්‍ය බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?